හිංදි, බෙංගාලි, සිංහල භාෂා
ත්‍රිත්වයම ඇතුළත් ඉන්දියාවේ ජාතික ගීය



නීතිඥ ආරියසේන එදිරිවීර

හින්දි භාෂාවෙන් "රාෂ්ඨ ගීත්" යනුවෙන් කියෑවෙන්නේ "ජාතික ගීය" යන්නයි. සමස්‌ත ඉන්දියාවේ ජාතික ගීය මෙයයි.

ජන ගණ මන් අධිනායක්‌ ජය හේ

භාරත් භාග්‍ය විධාතා·

පංජාබ්, සිං, ගුජරාත් මරාටා

ද්‍රdවිඩ් උක්‌කල් වංගා,

වින්දය හිමාචල් යමුනා ගංගා,

උච්ඡල් ජල්ධි තරංගා·

තව ශුභ නාමේ ජාගේ

තව ශුභ ආශිෂ් මාංගේ

ගාහේ තව ජය ගාථා,

ජන ගණ මංගලදායක ජය හේ,

භාරත් භාග්‍ය විධාතා,

ජය හේ, ජය හේ, ජය හේ,

ජය ජය ජය ජය හේ


මෙම ගීය ලියා ඇත්තේ ඉන්දියාවේ වංග ජාතික නෝබල් සාහිත්‍ය සම්මානය ලැබූ, සුප්‍රසිද්ධ කවියකු, ලේඛකයකු වූ රබීන්ද්‍රනාත් තාගෝර්තුමාය. මෙම ගීය ඔහු ලියන ලද්දේ ඉංගිරිසි කුමාරයකු ඉන්දියාවට පැමිණි අවස්‌ථාවේදී ඒ කුමාරයා පිළිගැනීම සඳහා යෑයි කියෑවේ. තවත් අදහසක්‌ වන්නේ ඉන්දීය ජාතික සභාවේ රැස්‌වීමකදී මුලින්ම ගායනා කළ බවයි. ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසුව 1950 දී මෙම ගීය ජාතික ගීය ලෙස තෝරා ගැනිණ.

මෙම ගීයේ සඳහන් සියලුම වචන හින්දි භාෂාවේ වචනයි. අවශ්‍ය නම් හින්දි - ඉංග්‍රීසි පුළුල් ශබ්දකෝෂයක්‌ ගෙන කියවා බලන්න. මේ ගීයේ සඳහන් බොහෝ වචන වංග, පංජාබ්, ගුජරාත් ඇතුළු සමහර උතුරු ඉන්දියානු භාෂාවල ද ඒ අර්ථයෙන්ම දක්‌නට ලැබේ. මෙහි සමහර වචන සිංහල භාෂාවේද හින්දි භාෂාවේ අර්ථයෙන්ම දක්‌නට ලැබේ.

උදා(- ජන ගණ මන් (ජන සමූහයාගේ සිත්), ජය, භාරත් (භාරත), භාග්‍ය, පංජාබ්, සිං (සිංදු), ගුජරාත්, මරාටා (මරාත), ද්‍රdවිඩ් (ද්‍රවිඩ), වංගා (වංග), හිමාචල් (හිමාලය), යමුනා, ගංගා, තරංගා ශුභ නාමේ, ශුභ ආශිෂ්, ගාථා, මංගලදායක.

සමහරෙක්‌ කියන්නේ ජාතික ගීය වංග භාෂාවෙන් ලියා ඇති බවයි. හින්දි භාෂාවේ එන "හේ" යන (ආඛ්‍යාතය" ක්‍රියා පදය වංග භාෂාවේ නැත. 'හේ' යනු සිංහලෙන් වෙයි, වේ., යන අර්ථය දෙයි.

උදා හින්දි:- ගෝපාල් ඝර් මේ හේ.

සිංහල:- ගෝපාල ගේ තුළ වෙයි.

හින්දි භාෂාව ඉන්දියාවේ සෑම කෙනෙක්‌ම දැන සිටිය යුතු යයි යන අදහස දහනව වැනි ශත වර්ෂයේ අග භාගයේදී ඉන්දියාවේ වර්ධනය වූ අදහසකි. රබීන්ද්‍ර නාත් තාගෝර් තුමාද හින්දි භාෂාව දැන සිටියාට කිසිම සැකයක්‌ නැත.

1918 දී කල්කටාවේ දී විශාල රැස්‌වීමක්‌ පැවැත්විණ. මේ රැස්‌වීමට එවකට ඉන්දීය ජාතික සංගමයේ සභාපති ලෝකමාන්‍ය ගංගාධාර් තිලක්‌ මහතා ද පැමිණ සිටියේය. ඔහු මරාත ජාතිකයෙකි. මහත්මා ගාන්ධි තුමාද පැමිණ සිටියේය. පළමුවෙන්ම ලෝකමාන්‍ය තිලක්‌ මහතා එම රැස්‌වීම අමතා දීර්ඝ කතාවක්‌ කරන ලද්දේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඔහුගේ කතාවට පසුව මහත්මා ගාන්ධිතුමාගේ කතා වාරය විය. ඔහු හින්දි භාෂාවෙන් කතාකරන්නට විය.

ඔහු පළමුවෙන්ම සභාවෙන් ඉල්ලා සිටියේ තිලක්‌ මහතා ඉංග්‍රීසියෙන් කළ කතාව තේරුම් ගිය අය අත් ඔසවන ලෙසයි. ඉතාම ටික දෙනෙක්‌ අත් එසවූහ. ඉන්පසු මහත්මා ගාන්ධිතුමා කියා සිටියේ අපි සියලු දෙනාම හින්දි භාෂාව ඉගෙන ගත යුතු වෙමු. එමගින් අපේ මුළු රටටම අති විශාල සේවයක්‌ කළ හැකි වන්නේය යනුවෙනි. තිලක්‌ මහතා මාස තුනක්‌ ඇතුළත හින්දි භාෂාව ඉගෙනගෙන හින්දි භාෂාවෙන් කතා කළ බව සඳහන් වේ. ඒ 1918 දී සිදුවූ සිද්ධියකි.

1947 දී ජවහර් ලාල් නේරු මහතා කියා සිටියේ රාජ්‍ය භාෂාවේ ස්‌වරූපයෙන් හින්දි භාෂාව සමස්‌ත ඉන්දියානු දේශයේ ඒකීයතාවය ඇති කිරීමට අධික ලෙස සහාය වන්නේය යන්නයි. මේ වන විට සමස්‌ත ඉන්දියාවේ එකම රාජ්‍ය භාෂාව හින්දි භාෂාවයි. සෑම ප්‍රාන්තයකම හින්දි භාෂාව උගන්වනු ලැබේ. හින්දි ප්‍රචාරක සභාව මගින්ද එය ක්‍රියාත්මක වේ. තමිල්නාඩුවේ තත්ත්වයද එයමය.

කෝටි සියයකට අධික ජනගහනයක්‌ සිටින ඉන්දියාවේ ලෝක්‌ සභාවේ (එනම් සමස්‌ත ඉස්‌දියාවේ පාර්ලිමේන්තුවේ) ආසන ගණන පන්සිය හතලිස්‌ තුනකි. (543) (කෝටි දෙකක්‌ පමණ සිටින ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ආසන 225 ක්‌ ඇත). ඉන්දියාවේ ලෝක්‌ සභාවේ සෑම මන්ත්‍රීවරයෙක්‌ම හින්දි භාෂාව දැන සිටින්නේ යයි කියෑවේ.

උතුරු ඉන්දියාවේ භාෂා අතර කිසියම් සමානත්වයක්‌ පවතී. සිංහල භාෂාවේ සමහර වචනද එසේය.


පංජාබ්:- මන් මෝහන් සිංහ්

හින්දි:- මන් මෝහන් සිංහ්

සිංහල:- මන මෝහන සිංහ

(මන මෝහනය කරන)

මේ භාෂා තුනේම සිංහ යන වචනය සිංහයාට කියයි. සිංහ යන වචනය පංජාබ්, හින්දි භාෂාවල 'වීර' අර්ථයේද යෙදේ (මන මෝහනවීර) හින්දි භාෂාවේ බහාදූර් වචනයේ තේරුම වීර යන්නයි. 'ෂේර්' යනුවෙන්ද සිංහයාට හින්දි භාෂාවෙන් කියෑවේ.

නරේන්ද්‍ර මෝදි යන්නේ තේරුම මෙයයි. නර Ý ඉන්ද්‍ර - නරයන්ගේ ශක්‍රයා. ක්‍රි.ව. 1707 සිට 1739 දක්‌වා මහනුවර රජ කළ අන්තිම සිංහල රජුගේ නම නරේන්ද්‍ර සිංහ යනුයි. මේ වචනය ගුජරාත්, හින්දි, සිංහල භාෂා තුනේම භාවිතා වේ. මෝදි යන වචනය හින්දි, ගුජරාත් භාෂා දෙකේම භාවිත වේ. එහි තේරුම සිංහල භාෂාවෙන් "සිල්ලර වෙළෙන්දා" යන්නයි.

රවින්ද්‍ර නාත් යන වචන දෙකම රවීන්ද්‍ර නාත වශයෙන් සිංහල භාෂාවේ ද භාවිත වේ. විල්මට්‌ ඒ. පෙරේරා මහතා තාගෝර්තුමාගෙ ශාන්ති නිකේතනයට ගොස්‌ ලංකාවට පැමිණෙන ලෙස තාගොර්තුමාට ආරාධනා කර ඇත. එය බාරගෙන එතුමා 1934 මැයි 09 වැනිදා ලංකාවට පැමිණ ඇත. ඒ හතළිහක පමණ ශිල්පීන් පිරිසක්‌ද සමඟය. දේශන, සංස්‌කෘතික සංදර්ශන, වේදිකා නාට්‍ය ආදී වැඩ සටහන් රැසක්‌ කොළඹ, මහනුවර, යාපනය, හොරණ, පානදුර නගරවලදී පවත්වා ඇත. පෙරේරා මහතාගේ වත්තක ශ්‍රී පාලි යන විදුහල ගොඩනැගීමට තාගෝර් තුමා 1934 මැයි 28 දින මුල්ගල තැබීය. සරස්‌වතී දෙව්දුව රජයන තැන අර්ථයෙන් ශ්‍රීපාලි යන නම යෙදූ බව කියෑවේ. (හොරණ ශ්‍රී පාලි විද්‍යාලය)

සමස්‌ත ඉන්දියාවේ ජාතික ගීය ලියන ලද්දේ ඒ රබීන්ද්‍ර නාත් තාගෝර් තුමාය. එම ජාතික ගීය සමස්‌ත ඉන්දියාවේ ඕනෑම තැනක පැවැත්වෙන රාජ්‍ය උත්සවයකදී ගායනා කෙරේ. ඉන්දියාවේ වෙනත් කිසිම භාෂාවකින් එකී ගීය කිසිම රාජ්‍ය උත්සවයකදී ගායනා කිරීම තහනම් ය.

හින්දි භාෂාව ලිවීමට අකුරු නැත. හින්දි භාෂාව ලියන්නේ සංස්‌කෘත භාෂාව ලියන දේව නාගරී අක්‍ෂරවලින්ය. සංස්‌කෘත හා පාලි වචන උතුරු ඉන්දීය භාෂාවල දක්‌නට ලැබේ. ඉන්දියාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථෘවේ 351 (VI) ඡේදයට අනුව "අවශ්‍ය වේ නම් හෝ අභිමත වේ නම් එහි (හින්දි භාෂාවේ) වචන මාලාව සඳහා පළමුකොට සංස්‌කෘතයෙන් හෝ දෙවනුව වෙන භාෂාවන්ගේ ශබ්ද ග්‍රහණය කිරීමෙන් එය ඉතා හොඳින් සමෘද්ධිමත් කළ හැකි වන්නේය", යනුවෙන් සඳහන්වේ.

ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් භාෂා ලිවීමටද අකුරු නැත. ඒ භාෂා ලියන්නේ ලැටින් භාෂාවේ අකුරු වලිනි. සිංහල භාෂාවට අවුරුදු දහස්‌ ගණනක්‌ තිස්‌සේ විකාශනය වූ ස්‌වාධීන අක්‍ෂර මාලාවක්‌ ඇත,

අද සමස්‌ත ඉන්දියාවේ එකම රාජ්‍ය භාෂාව හින්දි භාෂාවයි. "එක භාෂාවයි. එකම රටයි, ඒ එකම රට භාරතයයි. එනම් ඉන්දියාවයි. භාරතයේ එනම් ඉන්දියාවේ එකම රාජ්‍ය භාෂාව හින්දි භාෂාවයි." මහත්මා ගාන්ධිතුමාගේ පැතුම අද ඉටුවී ඇත.

ලොව පැරණිතම ජාතික ගීය ලන්දේසි ජාතික ගීය ලෙස සැලකේ. එය ක්‍රි.ව. 1570 දී පමණ රචනා වී ඇති බව කියෑවේ. එහෙත් ලංකාවේ ලන්දේසි පාලන සමයේ දී මේ ගීය ගායනා වූ බවට කිසිම පොතක සඳහන් නොවේ.

අනුරාධපුර යුගයේ අවසන් කාලයේ සිට අද දක්‌වාම රාජ්‍ය උත්සවවලදීත්, වෙනත් වැදගත් උත්සව වලදීත්, විවාහ මංගල උත්සවවලදීත් පාලි ජය මංගල ගාථා ගායනා කළ බව කියෑවේ. ජය මංගල ගාථා යන වචන තුනම ඉන්දීය ජාතික ගීයේ ඇත. පාලි ජය මංගල ගාථා අවසන් වන්නේ භවතු තේ ජය මංගලානි වශයෙනි. "තේ" යන්නේ තේරුම ඔබට (තොපට) යන අර්ථය දෙයි. ඉන්දීය ජාතික ගීයේ "තව" යන වචනය සංස්‌කෘත භාෂාවේද ඇත. ඔබගේ (තොපගේ) යන අර්ථය දෙයි. එම වචනය හින්දි, වංග, තවත් ඉන්දීය භාෂාවල ද ඇත. ඉන්දීය ජාතික ගීයේ සිංහල අදහස:-

ජන සමූහයේ මන (සිත තුළ) ආඥදායකයා (දැඩි වීරත්වය)

ජයග්‍රහණය වෙයි

භාරතයේ භාග්‍ය මැවේවා·

පංජාබ්, සිංදු, ගුජරාත් මරාත

ද්‍රවිඩ උත්කල් වංග

වින්ධ්‍ය හිමාලය යමුනා ගංගා

ගලායන සමුද්‍රයේ ජල තරංග

ඔබගේ සුබ නාමය අවදිකරයි (පුබුදුවයි)

ඔබගේ සුබ ආශිර්වාද ආයාචනා කෙරේ

ගායනා කෙරේ ඔබගේ ජය ගාථා (කතාන්තර)

ජන සමූහයේ මංගල දායක ජයග්‍රහණය වෙයි

භාරතයේ භාග්‍ය මැවේවා!

ජය වේ ජය වේ ජය වේ.

ජය ජය ජය ජය වේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.