වකුගඩු රෝගය තුරන් කිරීමේ
මහාචාර්ය වාර්තාව හමස්‌ පෙට්‌ටියේ


දයා ලංකාපුර

ශ්‍රී ලංකාවේ උතුරු මැද ඇතුළු පළාත් ගණනාවක පවතින වකුගඩු රෝගය තුරන් කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව යෝජනා සහ නිර්දේශ ඇතුළත් වැඩසටහනක්‌ ඉදිරිපත් කිරීමට ජනාධිපතිගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරාධනයෙන් පසුගියදා මෙහි පැමිණි ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලාංකික වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙකු විසින් ඒ සම්බන්ධයෙන් වාර්තාවක්‌ සකස්‌ කොට රජයට ඉදිරිපත් කර ඇතත් එය දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හමස්‌ පෙට්‌ටියට දමා ඇතැයි වාර්තා වේ.

මෙම වාර්තාව සකස්‌කොට රජයට භාරදීම සඳහා මෙහි පැමිණි මහාචාර්ය විමලවංශ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සෞඛ්‍ය ඇමැති දොස්‌තර රාජිත සේනාරත්න යන මහත්වරුන් හා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ද හමුවී සිය වාර්තාවේ පිටපත් භාරදී තිබේ.

එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරීන් පවසා ඇත්තේ වකුගඩු රෝගය සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් දැනටමත් කමිටු ගණනාවක්‌ පත්කොට කටයුතු කරගෙන යන බවයි. ඒ නිසා මහාචාර්ය විමලවංශ මහතාගේ වාර්තාව එම කමිටු වෙත යොමු කරන බවද එම නිලධාරීන් පවසා තිබේ.

මම මේ රටට පැමිණියේ රජයේ ආරාධනයකින්. ඒත් මම මගේ වියදමින් කොළඹ දින 44 ක්‌ නතරවී සිටිමින් රජයේ වගකිවයුත්තන් හමුවී මගේ වාර්තාව ඔවුන්ට ඉදිරිපත් කළා. නමුත් ඒ ගැන සැලකිල්ලක්‌ දක්‌වන බවක්‌ පෙනෙන්නට නැහැ. නිලධාරිවාදය ශ්‍රී ලංකාවේ තදින්ම ක්‍රියාත්මක වන බව පේනවා. තවදුරටත් මා මෙහි රැදී සිටීමෙන් වැඩක්‌ නැහැ. තවත් රාජකාරි රැසක්‌ තිබෙන බැවින් මා අද ශ්‍රී ලංකාවෙන් පිටත්ව යනවා යෑයි මහාචාර්ය සුනිල් ඡේ. විමලවංශ මහතා "දිවයින"ට පැවැසීය.

වකුගඩු රෝගය පැතිර තිබෙන පළාත්වල ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීම, කෘෂි රසායනික භාවිතය අවම කිරීම වකුගඩු රෝගය තුරන් කිරීම සඳහා සෞඛ්‍ය, කෘෂිකර්ම, ජල සම්පාදන පරිසර ආදි අමාත්‍යංශ ගණනාවක්‌ නියෝජනය වන පරිදි ස්‌වාධීන අධිකාරියක්‌ පිහිටුවීම ඇතුළු යෝජනා ගණනාවක්‌ ඒ මහතාගේ වාර්තාවට ඇතුළත්කොට තිබේ.

මහාචාර්ය විමලවංශ මහතා පෙරේදා (5 දා) රාත්‍රියේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය.

ඒ මහතා එක්‌සත් ජනපදයේ නිව්ජර්සි හි කාඩියෝ මෙටොබොලික්‌ ඉන්ස්‌ටිටියුට්‌ ආයතනයේ වෛද්‍ය විද්‍යාව පිsළිබඳ මහාචාර්යවරයකු ලෙස සේවය කරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.