මම සල්ලි හම්බකරන්න ගී ලියුවේ නැහැ
- ප්‍රවීණ ගීත රචක කුමාරදාස සපුතන්ත්‍රී

"රන් මලක්‌" සංගීත ප්‍රසංගය අද

ශ්‍රී ලාංකීය ගීත ක්‍ෂේත්‍රය පෝෂණය කරන්නට සිය අසම සම නිර්මාණ දායකත්වය නොමසුරුව දායාද කළ ප්‍රවීණ ගීත රචක කුමාරදාස සපුතන්ත්‍රිගේ ගීත නිර්මාණ ඇතුළත් "රන් මලක්‌" සංගීත ප්‍රසංගය අද (08 දා) සවස 6.30 ට මහරගම ජාතික යොවුන් රඟහලේදී පැවැත්වේ. විශාරද සුනිල් එදිරිසිංහ, විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද දීපිකා ප්‍රියදර්ශනී ගී ගයන මෙම ප්‍රසංගයට ඇතුළත් සපුතන්ත්‍රිගේ සියලුම ගීත ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කර තිබීම මෙහි ඇති විශේෂත්වයයි. මේ එම ප්‍රසංගය හා සපුතන්ත්‍රිගේ නිර්මාණ ඇසුරින් 'දිවයින' කුමාරදාස සපුතන්ත්‍රි සමග කරන ලද හෘදය සංවාදයකි.

මීට අවුරුදු දශක හතරකට පමණ පෙර කුමාරදාස සපුතන්ත්‍රි සිංහල ගීත කලා ක්‍ෂේත්‍රයට එක්‌ වූයේ සිංහල ගීත සාහිත්‍යයේ රන් අස්‌වනු නෙලමින් තිබුණු වකවානුවක යෑයි කීවාට වරදක්‌ නැත. එවකට ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ගුවන් විදුලි සඟරා සංස්‌කාරකවරයකු සේම වැඩසටහන් නිෂ්පාදකවරයකු වූ "සපු" සරල ගී වැඩසටහන් සඳහා පැමිණෙන අංකුර ගායකයන්ට නැතුවම බැරි හිතවතකු වූයේය. ඒ සපු නොමසුරුව, කිසිදු ප්‍රතිලාභයකින් තොරව ඔවුන් වෙත ඉතා වටිනා ගීත ලියා සරල ගී වැඩසටහන් සඳහා ලබාදුන් නිසාය. සපු කතාකරන්නට පටන් ගත්තේ එතැනිණි.

"ඇත්තම කියනවා නම් මේ උත්තම කලාව මම සල්ලිවලට විකුණපු කෙනෙක්‌ නොවෙයි. එහෙම කරපු අය, සල්ලිවලට ගීත ලියපු අය එදත් හිටියා. අද නම් හොඳටම ඉන්නවා. මම ඒ වෘත්තියට ගරහනවා නොවෙයි. ඒක වැරැදියි කියනවත් නොවෙයි. නමුත් මට රස්‌සාවක්‌ තිබුණා. මට ජීවත් වෙන්න අවශ්‍ය වැටුප ඉන් ලැබුණා. මම සින්දු ලිව්වේ මට ඉන් ආස්‌වාදයක්‌ ලබන්න. ඉතින් මම ඒ ආස්‌වාදය නොඅඩුව ලැබුවා.

ඒ කිව්වේ ගීත රචනාවෙන් ඔබ මුදල් උපයලාම නැද්ද?

පසුකාලීනව සිංග් ලංකා ආයතනය එම සින්දු යොදාගෙන කැසට්‌පට හා සීඩී පට නිපදවන කොට ඒ කාලේ හැටියට යම් තක්‌සේරුවක්‌ ගීතයකට කළා. ඒ අනුව මටත් ප්‍රතිලාභ ලැබුණා. ඔය විදියට සමහර ගායකයෝ පසුකාලීනව මුදලක්‌ දීල ගීත ලබාගත්තා. නමුත් ඇත්තම කියනවා නම් අපේ හොඳම ගීත අස්‌වැන්න බිහිවන්න පටන් ගත්තේ ඒවාට නිසි මිලක්‌ ඇතුව නොවෙයි. ජනතාව ඒ ගීත තදින් වැළඳ ගත්තා. මම හිතනවා ඒ රසිකයෝ තමයි ඒ ගීත ප්‍රිය කළ ජනතාව තමයි අපි හොයපු ධනය."

"සපු ලියූ අනගි ගීත රචනා දනන් තුඩ තුඩ ගැයෙන්නට පටන් ගැනිණ. විශාරද සුනිල් එදිරිසිංහට ඒ අයුරින් සපු ලියූ මුල්ම ගීය "චන්ද්‍රමඬල බැද්ද වටින් මෝදු වෙලා" ගීතයයි. එතැන් පටන් පාට දේදුනු, නිදුකාණනේ, හංස රාජිනී, හදේ කොතැනක, ඇසුවේද කවුරුන් හෝ, සංතාප මාවතේ, මිනිසා සුවඳයි, මලට සුවද සේ, දසන් දිනා, සූවිසි වරණින්, රන් මලක්‌ වැනි ගීත සිය ගණනක්‌ සුනිලුන්ගේ කටහඬින් සපුගේ ගීත බිහිවුණි. සපුතන්ත්‍රි ගීත ආර ගඟ ගලන්නා සේ සිංහල සංගීත ක්‍ෂේත්‍රය හරහා පැතිර ගියේ එලෙසිනි.

අකුරු මැකී නෑ ගීතය සපු එඩ්වඩ් ජයකොඩි නම් අපූර්ව අලුත් කටහඬ හිමි ගායකයාට ලියා දුන්නේ ද ඒ අතරතුරය. ඒ හඬ පෞරුෂයෙනුත් සපුගේ ගීත සංකල්පනා වලිනුත් තවත් ගීත ගංගාවක්‌ ගලන්නට පටන් ගැනිණි. මාරම්බරී, ලඳු ඕවිටි කළල් මතින්, එපා සඳේ ඔබේ සිනා, යට ගිය දවසක, මාලතී වසන්තේ, වැනි ගීත ඒ ගී මගේ අපූර්ව මතක සටහන් විය. සපුතන්ත්‍රිගේ ගීත සිය ගණනින් සුනිල්, වික්‌ටර්, අබේවර්ධන, එඩ්වඩ්, දීපිකා, නිරංජලා වැනි කටහඬවල් අවදි කළ අමුතුම තාලයේ පද සංකල්පනා වූහ. සපු ගීත රචනා ක්‍ෂේත්‍රයේ ඉහළටම ඔසවා තැබීමට ඒ නිර්මාණ ඉවහල් වූවා යෑයි කිවහොත් නිවැරැදිය.

සපුගේ ගීත මේ තරමටම ජනප්‍රිය වන්නට තවත් විශේෂ හේතුවක්‌ තිබිණි. ඔහුගේ විශ්වාසයේ හැටියටත්, මේ රටේ සංගීත ක්‍ෂේත්‍රයේ ගීත විචාරකයන්ගේ තක්‌සේරුවේ හැටියටත් ඒ සාර්ථකත්වයට 100% ක්‌ ම බලපෑවේ සංගීතයයි. ඒ සංගීතය අන් කවර හේතුවක්‌ නොව, සපු තන්ත්‍රිගේ අතිජාත මිත්‍ර ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේය. සපු ඒ සංගීතය ගැන කතා කරන්නේ මහත් අභිමානයෙනි.

"ඇත්තටම මගේ ගීතවල සංගීතය හරිම විශේෂයි. අපි රෝහණට නිකමටවත් කියන්නේ ගීතනු උල්පත කියලනේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රෝහණ ගී තනු උල්පතකි. ඔහුගේ නිර්මාණ දහස්‌ ගණනක්‌ තිබුණත් එකක්‌ තවෙකකට යාන්තමින්වත් සමාන නැහැ. විවිධත්වයම අපූර්වත්වයක්‌. ඒක රෝහණගේ දක්‍ෂතාවය, නිර්මානාත්මක හැකියාව, රෝහණගේ ගීතයකට හොඳ අනන්‍යතාවක්‌ තියනවා. පූර්ව සංගීතයෙන් රසිකයා ආකර්ශනය කරනවා. ගීත ශරීරය තුළ පවත්නා සංගීතය හා රිද්මයෙන් රසිකයා ඇද බැඳ තබාගන්නවා. අවසානයේ රසිකයා නොසිතන තැනකින් ගීය අවසන් කරනවා. මේවා හැම එකක්‌ම එකකට එකක්‌ වෙනස්‌. ඒ තුළ තමයි මේ ගීතවලට ලොකු සාර්ථකත්වයක්‌ සාධාරණයක්‌ ඉටු වුණේ.

ඇයි නිර්මාණ ජීවිතයේ අවසාන භාගයේ අන්තිම වෙනතුරු මේ වගේ ඔබගේ ගීත ප්‍රසංගයක්‌ කරන්න බලා සිටියේ, මෙතරම් ගීත සමුදායක්‌ ඔබට තිබියදීත්.

මම ගීත රචකයෙක්‌. මට වැඩක්‌ කරනවා නම් ඊට තවත් ශිල්පියෝ ගණනාවක්‌ හවුල් කරගන්න ඕන බව මම දන්නවා. මම ඊට කාටවත් කරදර කරන්න කල්පනා කළේ නැහැ. අන්තිමේ පසුගිය දේශපාලන වෙනස්‌කම්වලට පසුව මට රැකියාව අහිමි වුණානේ. රෝහණටත් රැකියාව අහිමි වුණා. ඔය වෙලාවේ තමයි අපේ සුනිල් එදිරිසිංහ ඇවිත් මට ඔය යෝජනාව කළේ. මටත් හිතුනා මේක තමයි වෙලාව මේකට කියලා. ඒ අනුව මම "රන් මලක්‌" ප්‍රසංගය සංවිධානය කරන්න කල්පනා කළා. මට මේ සියල්ල කරල දුන්නේ මගේ මිතුරන්. සුනිල්, එඩ්වඩ්, දීපිකා හා රෝහණ මං වෙනුවෙන් නොමිලේ සිය දායකත්වය ලබාදෙන්න ඉදිරිපත් වුණා. ආලෝකකරණය නොමිලයේ ලැබුණා. ප්‍රචාරක කටයුතුත් නොමිලේ සිදුවුණා. ශාලාව, සැරසිලි ඇතුළු වෙනත් කාරණාවලට පමණයි වියදමක්‌ යන්නේ. හුඟක්‌ දේවල් මගේ මිත්‍රයන් කරන්න බාරගත්තා.

ඔබ හුගක්‌ම ලියල තියෙන්නේ ප්‍රේම ගීත. තරමක්‌ දේශාභිමානය කැටිවුණ සමාජ දේශපාලන ගීතත් ඔබ බොහෝ ගණනාවක්‌ ලියල තියනවා. මේවා අතරින් ප්‍රසංගයකට ගීත තෝරා ගන්නේ කොහොමද...

ඇත්ත... මුල් යුගයේ මගේ ජනප්‍රිය වුණේ ප්‍රේම ගීතම තමයි. ඔහොම ජනප්‍රිය වෙලා ඉන්න විටක අපේ සුනිල්ම තමයි මට කිව්වේ "සපු.. ටිකක්‌ සමාජ අසාධාරණය ගැනත් කතා කරන රිදෙන දැනෙන සින්දුත් ටිකක්‌ ලියමු කියලා. ඉතින් මම ලිව්වා. මලින් මලට, රන්මලක්‌, මිනිසා සුවඳයි, දසිස්‌ දිනා, යටගිය දවසක, ලඳු ඕවිටි කලල් වැනි ගීත ලියෑවුණේ ඔහොමයි. ඒත් මම හිතනවා මගේ සාර්ථකම ගීත ප්‍රේම ගීත කියලා.

හැබැයි මම කවදාවත් සමාජ රැලිවලට ගීත ලියලා නැහැ. සමාජයේ රසික අවධානය දිනාගන්න, රිද්මය මාරු කරල ලියන්න, අදහස වෙනස්‌ කරන්න, අලුත් ලෝකෙට ගැලපෙන්න ලියන්න මට අවශ්‍ය වුණේ නැහැ. ඒක නිසා මට ප්‍රසංගයකට ගීත තෝරා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්‌ ආවේ නෑ.

මට මුලින්ම මේ තුන්දෙනා කියපු රෝහණ මියුසික්‌ කරපු මම කැමති ගීත තෝරා ගත්තා. ඉන් ගීත 28 ක්‌ තමයි රන්මලක්‌ ප්‍රසංගයට යොදා ගන්නේ. මේ ප්‍රසංගය තුළ අපේ පරපුර සොයන මිහිර ඒ විදියටම ලැබේවි. ගීත පෙළගස්‌වන්න, ඊට අවශ්‍ය හැඳින්වීම් ලබා දෙන්න බන්දුල නානායක්‌කාරවසම් උදව් කරනවා. ආරියරත්න කළුආරච්චි නර්තනයෙන් සහභාගි වන කොටසකුත් මේ ප්‍රසංගයේ තියනවා. ලෙන්චිනා ජස කතාවේ ජසයාගේ කතාන්දරය ඇසුරින් මම නාට්‍යමය ජවනිකාවක්‌ නිර්මාණය කළා. එයත් අමුතුම මිහිරක්‌ ලබාදේවි. මම මගේ රසිකයන්ට කියන්නේ මෙච්චරයි. රන් මලක්‌ මගේ ගීත ඇතුළත් ප්‍රසංගයක්‌. මම ඔබ වෙනුවෙන් ජීවිත කාලයක්‌ ගීත ලියපු කෙනෙක්‌. ඉතින් මට කරන සැලකිල්ලක්‌ තියනවා නම් 8 වැනිදා මහරගම යොවුන් රඟහලට එන්න. ටිකට්‌ එකක්‌ අරන් මගේ ප්‍රසංගය බලන්න. එදා ලබපු මිහිර ඒ විදියටම අදත් විඳින්න. ඒක තමයි මම මගේ රසිකයන්ගෙන් ඉල්ලන ඉල්ලීම.

මට විශ්වාසයි රන් මලක්‌ ඔබට අමුතුම මිහිරක්‌ ගෙන ඒවි.

සාකච්ඡා කළේ
බුලිත ප්‍රදීප් කුමාර
 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.