සෞදි රටේ අයිස්‌ කාමරයක තිබෙන
මගේ දුවගේ දේහය ගෙනත් දෙන්න

අවසන් වරට කතා කළවිට ගෙදරින් කරදරයි,
ගහනවා, බණිනවා, කන්න දෙන්නේ නැහැ කිව්වා

මියගිය අයගේ මව බලධාරීන්ගෙන් ඉල්ලයි



මියගිය කුවන්දිරම් සන්දාගේ දියණියන් දෙදෙනා සහ මව


මනම්පිටිය - ඡේ. ඒ. ජයකොඩි

මීට මාස 1 1/2 කට පෙර සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගිය වැලිකන්ද මුතුගල අංක 51 බී නිවසේ පදිංචිව සිටි කුවන්දිරම් සන්දා (26) යන දෙදරු මව මේ වනවිට මියගොස්‌ සෞදි අරාබියේ ශීත කාමරයක දමා ඇති අතර එම මෘත දේහය හැකිතාක්‌ ඉක්‌මනින් තමන් වෙත ලබා දෙන්නැයි මියගිය කුවන්දිරම් සන්දාගේ මව වන කව්මති සිත්තිරා දේවි (42) අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

තම දියණිය පිළිබඳ අදහස්‌ දැක්‌වූ සිත්තිරා දේවි දුව කටාර් රටේත්, කුවේට්‌ රටේත් අවුරුදු තුනක්‌ විතර ඉඳලා ලංකාවට ඇවිත්. 2015 මාර්තු මාසේ සෞදි අරාබියට ගියා. ගිහින් අප්‍රියෙල් 17 වැනිදා කෝල් කරලා කිව්වා. දුවට හරියට කරදරයි කියලා. කන්න දෙන්නෙත් නැහැ ගහනවා. සමහර වෙලාවට පිහියක්‌ ගෙනත් බෙල්ලට තියනවා. සැර පරුෂ වචනයෙන් බනිනවා කියලා. ඊට පස්‌සෙ මගේ දුව කථා කළේ නැහැ. ඉතිං මට සැක සිතුණා. පස්‌සෙ මම වැලිකන්ද පොලසියට දැනුම් දුන්නා. ඊට පස්‌සෙ ඒජන්සියට කථා කළා. ඒජන්සියෙන් කිව්වා මගෙ දුව අයිස්‌ රූම් එකට දාලා කියලා. ඊට පස්‌සේ විදේශ සේවා එකට කිව්වම භාරකාරයයි ළමයින්ගේ උප්පැන්නයි අරං එන්න කීවා. මම දැන් මගෙ දුවගෙ දුවල දෙන්නම ළඟ තියාගෙන දුක්‌විඳිනවා. මේ ලොකු මිනිබිරී හය වසරේ, දෙවැනි බිනිබිරී හතර වසරේ ඒ දෙන්නගෙම ඉගෙනීමත් නැවතුනා. මගේ දුවගේ මනුස්‌සය අත්හැරලා ගිහින්.

මට කිසිම සැනසිල්ලක්‌ නැහැ. රට ගිය මගේ දුව අන්තිමට කථා කළේ 00966505401119 නොම්බරයෙන්. දැන් ඒකට පිළිතුරු නැහැ. මගේ අංකය 0754658478. ඉතිං මටත් මගේ මිනිබිරියන්ටත් අඩුම තරමේ මගේ මියගිය දුවගෙ මිණියවත් බලල සැනසෙන්න හැකිතාක්‌ ඉක්‌මනින් මිණිය ලංකාවට ගෙනත් දෙන්න කියලා ජනාධිපතිතුමාගෙනුත්, ඇමැතිතුමාගෙනුත් පුළුවන් හැම දෙනාගෙන්ම මම දෙපා වැඳල මේ ළමයින් දෙන්නගෙ නාමෙන් ඉල්ලා සිටිනවා. කව්මිනි සිත්තරාදේවි, අංක 51 බී, පො/මුතුගල, 0754658478.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.