කුවේට්‌ රටේදී රිය අනතුරකට ලක්‌ව
ආබාධිත වූ කාන්තාව සාධාරණයක්‌ ඉල්ලයි


සටහන හා ඡායරූපය: පන්විල - ඡේ. තල්වත්ත

කුවේට්‌ රටේ නිවාසයක ගෘහ සේවයේ යෙදී සිටියදී රිය අනතුරකට ලක්‌ව බරපතළ තුවාල සිදුවීමේ හේතුවෙන් දෙපා ආබාධිත වූ කාන්තාවකට කිසිදු වන්දි මුදලක්‌ නොගෙවා එම හාම්පුතුන් විසින් ඇයව ශ්‍රී ලංකාවට එවා තිබේ.

මෙම රිය අනතුර හේතුවෙන් දෙපා අත් පා කොන්දට සිදුවී තිබූ තුවාල හා ආබාධ සඳහා එරට රෝහලක මාසයක පමණ කාලයක්‌ ප්‍රතිකාර ලැබූ ඇයට ඇවිදීමට නොහැකි තරමින් දෙපාවලට හානි සිදුවී තිබියදීත් ශ්‍රී ලංකාවට එවා ඇත්තේ නාන කාමරයක වැටී මෙම අනතුර සිදුවූ බව පවසමිනි.

මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ පන්විල මඩුල්කැලේ උනනගල වත්තේ පදිංචි එස්‌. විඡේලෙච්චමි නමැති 42 හැවිරිදි තිදරු මවකි.

හරිහැටි දෙපා වාරුකර ඇවිද යැමට නොහැකිවීම මෙන්ම බරපතළ කොන්දේ අමාරුවකින්ද පීඩා ලබන ඇය මේ සඳහා මහනුවර මහ රෝහලෙන් සායනික ප්‍රතිකාර ලබමින් සිටින බවද අප සමග පැවැසුවාය.

වත්තේ දළු කඩමින් එදිනෙදා කුලියක්‌ උපයාගෙන දරුවන් හා සැමියා සමග කරදරයක්‌ නැතුව ජීවිතය ගත කළ තමා පවුලේ දියුණුවට වැඩියෙන් මුදල් ඉපැයීමට රට රැකියා සොයා ගොස්‌ ආබාධිත තත්ත්වයකට පත්වූ පුවත ඇය පැවැසුවේ මෙසේය. මම කුවේට්‌ රටට ගියේ 2014 වසරේ. වැඩකළ හාම්පුතුන් ඉතාම අකාරුණිකයි. උදේ පාන්දර සිට රෑ හත අටවන තුරු ගෙදර හැම වැඩක්‌ම කරන්න ඕනේ. මට හරියට කන්න බොන්න දුන්නේ නැහැ. ඒවා ගැන ඔවුන් සොයා බැලුවේ නැහැ. හැම වෙලාවේම වැඩ කරනවද කියා තමා බැලුවේ. මට වෙන තැනකට යාමට තරම් තේරුම් නැති නිසා හැම දුකක්‌ම විඳගෙන වැඩ කළා.

එම නිවසේ වාහනයෙන් රියෑදුරා සමග ගෙදරට බඩු ගේන්න ගිය අතරේ තමා මෙම අනතුර සිදුවුණේ. අනතුර කොහොම වුණාද දන්නේ නැහැ. මට සිහිය ආවේ රෝහලේදී. ඒ වන විට මගේ අත්පා බැන්ඩේඡ් දමා තිබුණා. කොන්දටත් බරපතළ හානි සිදුවී තිබුණා. මේක රිය අනතුරකින් සිදුවූ බව නොකියන ලෙසට මට බල කළා. එහෙම කීවොත් උඹව මරා දමනවා කියා ඔවුන් මට කීවා. බාත්රූම් එකේ වැටුණා කියා කියන්න කීවා. ඒ බයට මමත් එහෙම කීවා. රෝහලේ මාසයක්‌ පමණ ප්‍රතිකාර ගෙන එම ගෙදරට ගෙන ගියා. දෙපා වාරුවෙන් ඇවිදීමට බැරි කමත්, කොන්දට බරපතළ හානිවි සුවනොවී තිබියදීත් ඔවුන් මාව ශ්‍රී ලංකාවට එව්වේ කිසිදු වන්දියක්‌ ගෙවන්නේ නැතුවයි. ඔවුන් මාව ලංකාවට එව්වෙත් බාත්රූම් එකේ වැටුණා කියලයි.

මට දැන් හරියට වැඩක්‌ පළක්‌ කරන්නවත් දෙපා වාරුවෙන් ඇවිදීමටත් බැහැ. මහනුවර රෝහලේ සායන ප්‍රතිකාර ගන්නවා. මට සිදුවී ඇති මෙම හානියට එම හාම්පුතුන්ගෙන් හා එම නිවසට සම්බන්ධ කළ ඒජන්සියෙන් සාධාරණයක්‌ ඉෂ්ඨ කර දෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශයෙන්ද ඉල්ලා සිටිනවා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.