මරදානේ ගිනිගත් ගොඩනැඟිල්ලට
නගර සභාවේ අනුමැතිය ගෙන නෑ

නෝමන් පලිහවඩන

කොළඹ මරදානේ ටෙක්‌නිකල් පාරේ ආපනශාලාවකදී තිදෙනකු මරුමුවට පත්කරමින් පෙරේදා (25 දා) දහවල් සිදු වූ විශාල ගින්න පිළිබඳව පරීක්‍ෂණ කරගෙන යද්දී එම ගොඩනැඟිල්ල සඳහා නගර සභාවේ අනුමැතියක්‌ ලබාගෙන නොතිබූ බව හෙළි වූයේ යෑයි කොළඹ නගරාධිපති ඒ. ඡේ. එම්. මුසම්මිල් මහතා "දිවයින" ට පැවසීය.

කිසියම් සංවිධානයක්‌ පවත්වාගෙන යැමේ මුවාවෙන් තනන ලද මෙම ගොඩනැඟිල්ලේ බේකරියක්‌ හෝ හෝටලයක්‌ පැවැත්වීමට නගර සභාවේ අනුමැතියක්‌ ලබා දී නැති අතර එම ගොඩනැඟිල්ල ඉතා පැරණි එකක්‌ යෑයි ද මුසම්මිල් මහතා කීය. මෙම බේකරියේ පිටුපස දොරක්‌ හෝ පිටුපස ජනේල පවා තිබී නැති බව ද හෙතෙම පැවසීය.

මෙම බේකරිය පවත්වාගෙන ගිය පුද්ගලයන්ට විරුද්ධව නඩු පවරන බව ද මේ අනුව නගර සභාවේ අනුමැතිය නැතිව මේ ආකාරයට ගොඩනැඟිලි කොළඹ නගරය තුළ තවත් තනා තිබේදැයි සොයා බැලීමට විමර්ශනයක්‌ කරන බව ද නගරාධිපතිවරයා පැවසීය.

මෙම බේකරියේ හිමිකරු කිසියම් සංගමයක්‌ මුවාවෙන් තනන ලද මෙම ගොඩනැඟිල්ල එම සංගමයේ ප්‍රයෝජනයට වෙන්කර නැති අතර එම සංගමය කුමක්‌දැයි සොයාබලාගෙන යන බව ද හෙතෙම කීවේය.

ගින්නට හසු වී මියගිය තිදෙනා පැනයැමට පිටුපස දොරක්‌ හෝ ජනේලයක්‌ නොමැතිකමින් දිවි රැකගැනීමට නානකාමරයට පැන ඇති බව විශ්වාස කළ හැකි යෑයි ගිනි නිවන නිලධාරි (මෙහෙයුම්) ආර්. ඩී. විඡේසූරිය මහතා කීවේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.