ලංකා බැංකුවේ අනුග්‍රහයෙන්
ලොව පුරා අවුරුදු උත්සව පවත්වයි



ලංකා බැංකුවේ පූර්ණ අනුග්‍රහයෙන් 2015 සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම් උත්සව රාශියක්‌ ලොව පුරා පැවැත්විණි.

ඒ අතර ඉතාලිය, කොරියාව, සයිප්‍රසය, කටාර් රාජ්‍යය, බහරේන්, කුවේට්‌, එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය, ඩුබායි මෙන්ම ඕමානයේදී ද පැවති අවුරුදු උත්සව සඳහා ප්‍රමුඛස්‌ථානයක්‌ හිමිවිය.

ලංකා බැංකුව මෙම අවුරුදු උත්සව සඳහා පූර්ණ අනුග්‍රහය ලබාදීම නිසා එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ට එම රටවලදීම අවුරුදු අසිරිය විඳ ගැනීමට අවස්‌ථාව ලැබුණු අතර ලංකා බැංකුව හා විදේශගත ශ්‍රමිකයන් අතර ඇති සම්බන්ධතාව තව තවත් වැඩිදියුණුවීමටද අවස්‌ථාව උදාවිය.

අප්‍රේල් මස 24වැනිදා ඕමානයේ ශ්‍රී ලාංකිකයන්ගේ සංගමයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වූ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සඳහා ලංකා බැංකුවේ පූර්ණ අනුග්‍රහය දැක්‌වූ අතර එම උත්සවය ඕමානයේ අල් කුවේර් ක්‍රීඩාංගණයේදී දවස පුරා පවත්වනු ලැබීය. ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 3000කට අධික පිරිසක්‌ මෙම උත්සවයට පැමිණි අතර ඔවුන්ට එම දිනය පුරා දේශීය අවුරුදු ක්‍රීඩා රැසකට සහභාගිවීමට ලැබීම මෙහිදී කැපී පෙනිණි. මෙම උත්සවය අවසානයේ සංගීත සංදර්ශනයක්‌ පැවැත්වූ අතර ඒ සඳහාද ලංකා බැංකුව තම පූර්ණ අනුග්‍රහය ලබාදෙන ලදී.

මෙම උත්සවය සඳහා ඕමානයේ ශ්‍රී ලංකා වැඩබලන තානාපති එන්. එල්. එම්. හලීම් මහතා, ශ්‍රී ලාංකිකයන්ගේ සංගමයේ සභාපති සරත් ලාල් මහතා, මස්‌කට්‌ ශ්‍රී ලංකා විදුහලේ විදුහල්පති සෝමබන්දු කොඩිකාර මහතා, ලංකා බැංකුවේ ජාත්‍යන්තර අංශයේ ප්‍රධාන කළමනාකරු ප්‍රියාල් සිල්වා මහතා, ඕමාන් ලංකා බැංකු නියෝජිත ඉඳුනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක්‌ සහභාගි වූහ.

ඕමානයේ අවුරුදු උත්සවය ආරම්භ කරමින් ලංකා බැංකුවේ ජාත්‍යන්තර අංශයේ ප්‍රධාන කළමනාකරු ප්‍රියාල් සිල්වා මහතා චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දැල්වූ අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.