මහජන බැංකුවේ වාර්ෂික පර්යේෂණ සමුළුව සාර්ථකව පැවැත්වේ



ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා අතින් හොඳම පර්යේෂණ ලිපිය ඉදිරිපත් කළ කේ.එල්.පී.කිත්සිරි මහතා තිළිණ ලැබූ අවස්‌ථාව. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෙනඩි ඩී. ගුණවර්ධන, මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරි / සාමාන්‍යාධිකාරි එන්. වසන්ත කුමාර් යන මහත්වරුන් සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (ක්‍රමෝපාය සැලසුම් සහ පර්යේෂණ) චාන්දනී වේරපිටිය මහත්මිය මෙහි වෙති.

මහජන බැංකුවේ වාර්ෂික පර්යේෂණ සමුළුව (PBARC 2015) පසුගියදා මහජන බැංකුව මාණ්‌ඩලික අභ්‍යාස විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවැත්විණි. මහජන බැංකු පවුලේ දසදහසකට අධික කාර්ය මණ්‌ඩල සාමාජික සාමාජිකාවන් තුළ පර්යේෂණ සහ සමීක්‌ෂණ දක්‌ෂතා වර්ධනය කරමින්, නව ප්‍රවණතා අධ්‍යයනය ඔස්‌සේ මහජන බැංකුව ගනුදෙනුකාර අවශ්‍යතා හඳුනාගත් සත්කාරක කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත්කිරීමේ අරමුණින් මහජන බැංකුවේ ක්‍රමෝපාය සැලසුම් හා පර්යේෂණ දෙපාර්තමේන්තුවේ සාමූහික ප්‍රයත්නයක්‌ ලෙස මෙය සංවිධානය කර තිබිණි.

-ප්‍රභාෂ්වර චින්තනයන් ඔස්‌සේ දිදුලන අනාගතයක්‌ කරා යන තේමාව ඔස්‌සේ පැවති මෙම පර්යේෂණ සමුළුවට මානව සම්පත්, තොරතුරු තාක්‌ෂණ, අලෙවිකරණ සහ මූල්‍ය යන විෂයන් ඔස්‌සේ විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා 26ක්‌ ඉදිරිපත් කර තිබිණි. එම පත්‍රිකා රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සමන්විත විනිශ්චය මණ්‌ඩලයක්‌ වෙත යොමුකර, පර්යේෂණ නිපුණතාව සහ ඉදිරිපත් කිරීමේ කුසලතාව මත හොඳම පර්යේෂණ පත්‍රිකා 13ක්‌ අවසන් වටයට තෝරා ගන්නා ලදී. ඒ අතුරින් හොඳම පර්යේෂණ ලිපියට හිමි ත්‍යාගය වීරකැටිය ශාඛාවේ සහකාර කළමනාකාර කේ.එල්.පී.කිත්සිරි මහතාටත්, දෙවැනි ස්‌ථානයට හිමි ත්‍යාගය දෙහිඅත්තකණ්‌ඩිය ශාඛාවේ සහකාර කළමනාකාර කේ.ඒ.සී.කස්‌තුරි මහතාටත්, තෙවැනි ස්‌ථානයට හිමි ත්‍යාගය අකුරණ ශාඛාවේ කළමනාකාරිනී ශාන්ති සිවනතාවරල් මහත්මියටත් හිමිවිය. එමෙන්ම පර්යේෂණ නිබන්ධන ඉදිරිපත් කළ සියලුම දෙනා මෙහිදී ඇගයීමට ලක්‌විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ මෙම අවස්‌ථාවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරි / සාමාන්‍යාධිකාරි එන්. වසන්ත කුමාර් යන මහත්වරුන් ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ බැංකු කාර්ය මණ්‌ඩලයේ විශාල පිරිසක්‌ සහභාගි වූහ.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.