යතුරු පැදි ටයර් නිපදවීමට සියෑට්‌ කැලණි
නව අධිතාක්‌ෂණික කම්හලක්‌ විවෘත කරයි


ශ්‍රී ලංකාවේ ටයර් අවශ්‍යතාවයෙන් අඩක්‌ නිෂ්පාදනය කරන සියෑට්‌ කැළණි හෝල්ඩින්ග්ස්‌ සමාගම විසින් දේශීය සහ විදේශීය වෙළඳ පොළට යතුරු පැදි ටයර් නිෂ්පාදනය කිරීම සඳහා අති නවීන කර්මාන්ත ශාලාවක්‌ මෙරට විවෘත කර ඇත.

කැළණියේ පිහිටි සියෑට්‌ කැළණි සංකීර්ණය තුළ ස්‌ථාපිත කර තිබෙන රුපියල් මිලියන 95 ක මූලික ආයෝජනයකින් ආරම්භ කර තිබෙන මෙම කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් කටයුතු සිදුකරන්නේ සියෑට්‌ කැළණි හෝල්ඩින්ග්ස්‌ සමාගමට අනුබද්ධ ඒෂියන් ටයර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ් සමාගම විසිනි.

මෙම කර්මාන්ත ශාලාව මගින් ප්‍රමාණ 17 ක ටයර් 162,000 ක්‌ පමණ වසරකට නිෂ්පාදනය කිරීමේ හැකියාවක්‌ තිබෙන බවත් මෙම ටයර් වලින් සමහරක්‌ දේශීය තත්ත්වයට ගැලපෙන ඉහළ කාර්ය සාධනයක්‌ සඳහා නවතම කට්‌ට රටාවලින් සමන්විත බවත් සමාගම සඳහන් කරයි.

ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් පුළුල් කිරීම වෙනුවෙන් සිදුකළ මෙම නවතම ආයෝජනය පිළිබඳව සියෑට්‌ කැළණි හෝල්ඩින්ග්ස්‌ සමාගමේ කළමනාකාර අධ්‍යක්‌ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී, විෙ-ගාම්බීර් මහතා පැවසුවේ ආනයන ආදේශනය, අපනයන ආදායම් වර්ධනය කර ගැනීම මෙන්ම යතුරු පැදි ටයර් වෙළෙඳ පොළ තුළ සියෑට්‌ වෙළෙඳ පොළ කොටස තවදුරටත් ශක්‌තිමත් කර ගැනීම සඳහා මෙම කර්මාන්ත ශාලාවෙන් සහාය හිමිවන බවයි.

සමාගම මේ වනවිටත් මෙරට යතුරු පැදි ටයර් වෙළෙඳ පොළින් 17% ක කොටසක්‌ද, රේඩියල් ටයර් වෙළෙඳ පොළින් 30% ක කොටසක්‌ද, ට්‍රක්‌ රථ/සැහැල්ලු ට්‍රක්‌ රථ ටයර් වෙළෙඳ පොළින් 52% ක කොටසක්‌ද, ත්‍රිs රෝද රථ ටයර් වෙළෙඳ පොළින් 48% ක කොටසක්‌ද, කෘෂි කාර්මික ටයර් වෙළෙඳ පොළින් 73% ක කොටසක්‌ද අත්පත් කර ගැනීමට සමත්ව ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.