කෙටිකෑම නිසා රටට බරක්‌ වන ළමා බර

දිවයිනේ නාගරික පාසල්වල ඉගෙනුම ලබන පාසල් සිසුන්ගෙන් සියයට 6 ක්‌ පමණ අධි බර (නියමිත ශරීර බරට වඩා වැඩි බරකින් යුතු වීම) තත්ත්වයෙන් පෙළෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසල් අංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය අයේෂා ලොකුබාලසූරිය මහත්මිය නොබෝදා පැවැසුවාය. එම අධි බර තත්ත්වයෙන් පෙළෙන පාසල් සිසුන්ගෙන් බහුතරය එම තත්ත්වය මත අක්‌මාව ඉදිමීමේ (ෆැටී ලිවර්) රෝගයෙන් පෙළෙන බව අනාවරණය වී ඇති බවද ඇය කීවාය.

නාගරික පාසල්වල අධි බරෙන් යුතු පාසල් සිසුන්ගේ සංඛ්‍යාව තවත් වර්ධනය වෙමින් පවතින බවද සමීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

මේ වැරැදි ආහාර පරිභෝජන රටාව හා ව්‍යායාම මඳකම හේතුවෙන් වර්තමානයේ මෙරට පාසල් සිසුන් පත්ව ඇති තත්ත්වයයි. මෙම අධි බර තත්ත්වය කල් යත්ම තරබාරු තත්ත්වයට පත්ව එම සිසුන් වයස අවුරුදු 30 පමණ වන විට හෘද රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල් වැනි බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ වැඩි අවදානමක්‌ පවතින බව වෛද්‍ය මතය වී තිබේ.

නාගරික පාසල්වල ආපනශාලා මෙන්ම එම පාසල් ඉදිරිපිට ඇති කෙටි ආහාර වර්ග අලෙවි කරන අලෙවිසල් මෙවැනි රෝගී තත්ත්වයක්‌ පාසල් සිසුන් තුළ ඇති කිරීමට මුල් වී ඇති බව පැහැදිලිය.

පාසල් ආපන ශාලාවලින් සියයට 90 ක පමණ සීනි අධික පැණි බීම වර්ග අලෙවිය නතර කරලීමට හැකිව ඇතත් තවමත් සීනි, තෙල් අධික ඩෝනට්‌ස්‌ මෙන්ම, රෝල්ස්‌, පැටිස්‌, පේස්‌ටි්‍ර වැනි පිටි, තෙල් අධික කෙටි ආහාර වර්ග (ෂෝර්ට්‌ ඊට්‌ස්‌) අලෙවිය අඩු කිරීමට බලධාරීන්ට මෙතෙක්‌ හැකි නොවීම මත පාසල් සිසුන් බෝ නොවන රෝගවලට ලක්‌වීමෙන් වළකාලීම සිහිනයක්‌ බවට පත්වෙමින් තිබේ.

පැටිස්‌, රෝල්ස්‌, පේස්‌ටි්‍ර වැනි කෙටි ආහාර වර්ගවල පිටි හා තෙල් අධික වීමට අමතරව ඒවා වරක්‌ යමක්‌ බදිනු ලැබූ තෙල්වලින් නැවත බැදීම නිසා පාසල් සිසුන් තව තවත් රෝගාබාධවලට ලක්‌වීමේ අවදානමක්‌ පවතී.

පාසල් ආපනශාලාවල කෙටි ආහාර සංස්‌කෘතියට නොදෙවෙනි නාගරික පාසල් ඉදිරිපිට ඇති ප්‍රමුඛ පෙළේ බේකරි අලෙවිසල්වල අලෙවි කරනු ලබන කෙටි ආහාර වර්ග, කේක්‌ හා බනිස්‌ වර්ග මෙන්ම සීනි අධික පැණි බීම වර්ග මේ වන විට බොහෝ පාසල් සිසුන්ගේ දිවා ආහාරය බවට පත්ව ඇත. නාගරික පාසල්වල ඉගෙනුම ලබන ඇතැම් ධනවත් පවුල්වල සිසුන් උදැසන ආහාර වේල ලබා ගන්නේද මැක්‌ඩොනල්ඩ්, පීසා හට්‌ හා කේ එµa සී වැනි අවන්හල් හරහාය. මේ අයුරින් උදැසන ආහාරය මෙන්ම දිවා හා සවස ආහාර වේල් වශයෙන් කෙටි ආහාර ගැනීම පාසල් සිසුන් ඉබේම බෝ නොවන රෝගවලට යොමු කිරීමකි.

මෙම කෙටි ආහාර සංස්‌කෘතියෙහි ආදීනව පිළිබඳව පාසල් සිසුනට අධ්‍යාපනය ලබා දීමට ගුරුවරුන් හා දෙමව්පියන් ඉදිරිපත් නොවීම නිසා එම ආහාර සංස්‌කෘතිය වෙනස්‌ කරලීම අසීරු වී තිබේ.

අතීතයෙහි දියවැඩියාව, හෘද රෝග, පිළිකාවන්, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග වැළඳීම බොහෝ විට දක්‌නට ලැබුණේ වැඩිහිටියන් අතරය. එහෙත් වර්තමානයේ කෙටි ආහාර සංස්‌කෘතිය සමාජය තුළ කෙතරම් පැල පදියම් වී ඇත්ද යත් අලුත උපදින දරුවන්ටද දියවැඩියාව, හෘද රෝග, පිළිකාවන් උපතින්ම උරුම වන අවස්‌ථා එමට දක්‌නට ලැබේ.

රටේ අනාගත ශ්‍රම බළකායට එක්‌වීමට නියමිත මෙම පාසල් සිසුන් බෝ නොවන රෝගවලට ගොදුරු වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් වරක්‌ දෙවරක්‌ නොව කිහිපවරක්‌ම විමසා බලා එම තත්ත්වය වැළැක්‌වීමට අවශ්‍ය දිගුකාලීන පියවර ගැනීම කාලීන අවශ්‍යතාවයක්‌ව පවතී.

වර්තමානයේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් හරහා මෙන්ම අන්තර්ජාලය හරහා ගෙන යන දැවැන්ත ප්‍රචාරණ වැඩපිළිවෙළ මත මෙම කෙටි ආහාර වර්ග පාසල් සිසුන්ගේ ජාතික ආහාර බවට පත්ව ඇත. පාසල් සිසුන් අතර බෝ නොවන රෝග පැතිරීම වැළැක්‌වීම සඳහා නිසි ක්‍රමවේදයකට අනුව සැකසුණු ජාතික මට්‌ටමේ සැලැස්‌මක්‌ පැවතිය යුතු අතර ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයද දායකත්වය ලබා දිය යුතුය.

විශේෂයෙන්ම ආපනශාලාවල අලෙවි කළ යුතු ආහාර පාන පිළිබඳව නිකුත් කර ඇති චක්‍රලේඛයන් කිසි විටෙකත් කඩදාසි කෑල්ලකට සීමා නොවිය යුතු අතර ඒවා ක්‍රියාත්මක මට්‌ටමක පවතින ප්‍රායෝගික චක්‍රලේඛයන් විය යුතුය.

එවැනි චක්‍රලේඛයන්ට අනුව කටයුතු නොකරන ආපනශාලා හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සෞඛ්‍ය බලධාරීහු කටයුතු කළ යුතුව ඇත.

වර්තමානයේ බෝ නොවන රෝගවලට ගොදුරු වීම නිසා නව යොවුන් වියෙහි පසුවන බොහෝ අය හට තම ශිෂ්‍ය කාලය මෙන්ම තරුණ කාලය ගත කිරීමට ඇත්තේ රෝගීන් ලෙසය. කුඩා අවධියේ සිටම ළමුනට සමබර ආහාර වේලක්‌ ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳව නිසි අවබෝධයක්‌ ලබා දිය යුතුව ඇත. විශේෂයෙන්ම තෙල්, සීනි හා පිටි යන රෝග කාරක ද්‍රව්‍යයන් සහිත ආහාර වර්ග පරිභෝජනය කිරීම සීමා කොට එළවළු, පලා හා පලතුරුවලින් සමන්විත පෝෂ්‍යදායී ආහාර වේලක්‌ ලබා ගැනීමේ වැදගත්කම නිවසේදී ළමුනට අවබෝධ කර දිය යුතුව ඇත.

එහෙත් වර්තමානයේ සිදු වනුයේ දෙමවුපියන් මෙන්ම දරුවන්ද කෙටි ආහාර වර්ග තරගයට මෙන් පරිභෝජනය කරමින් බෝ නොවන රෝග තමන් වෙත කැඳවා ගැනීමයි.

මෙහිදී කෙටි ආහාර සංස්‌කෘතියෙන් පාසල් ළමුන් මුදා ගැනීමට නම් සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරීන්ටද ඉටු කළ යුතු කාර්යභාරයක්‌ පවතී. දිනකට පරිභෝජනය කළ යුතු සීනි, තෙල්, පිටි ප්‍රමාණයන් පිළිබඳව පාසල් සිසුන් මෙන්ම තරුණ පිරිස්‌ දැනුවත් කිරීම මෙන්ම වෙළෙඳපොළෙහි පවතින ආහාර වර්ගවල අඩංගු තෙල්, පිටි හා සීනි ප්‍රතිශතයන් සඳහන් කිරීමේ වැඩපිළිවෙළකට යැම මෙහිදී ප්‍රධානය.

ඒමන්ති මාරඹේ
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.