ජාතික කොඩියට අදාළ රීති නීතියක්‌ බවට පත් කෙරේ

ප්‍රියදර්ශන ලියනගේ

ජාතික කොඩිය අවභාවිත කිරීම වැළැක්‌වීම සඳහා දැනට ක්‍රියාත්මක ජාතික කොඩියට අදාළ රීති සංග්‍රහය නීතියක්‌ බවට පත් කිරීමට රජය තීරණය කර ඇතැයි ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්‌. ඩී. එස්‌. බොරලැස්‌ස මහතා 4 දා 'දිවයින' ට පැවසීය.

රජය මෙම තීරණය ගෙන තිබෙන්නේ දේශපාලනඥයන් ඇතුළු සමාජයේ විවිධ පිරිස්‌ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමටත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් කිරීමටත් දිගින් දිගටම ජාතික කොඩිය අවභාවිත කිරීම හේතුවෙනි.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ ලේකම්වරයා අපේ අනන්‍යතාව ලෝකයටම පවසන ජාතික කොඩියේ ගෞරවයට හානි වන පරිදි ඇතැම් පිරිස්‌ ප්‍රසිද්ධියේ කටයුතු කරන බව පැවසීය.

ජාතික කොඩිය භාවිත කිරීමේදී අනුගමය කළ යුතු වෙනම රීති සංග්‍රහයක්‌ රජය විසින් ගැසට්‌ මගින් ප්‍රකාශ කර තිබෙනවා. නමුත් මෙය නීතියක්‌ නොවන නිසා ජාතික කොඩිය අවභාවිත කරන පුද්ගලයන්ට විරුද්ධව නීති මගින් කටයුතු කිරීමට නොහැකිවී තිබෙන අතර මේ නිසා රීති සංග්‍රහය නීතියක්‌ බවට පත් කිරීමට රජය තීරණය කර ඇතැයිද ලේකම්වරයා පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.