කටුනායකදී වෙඩි වැදී මියගිය රොෂේන් චානක සැමරුම් උළෙල
පසුගිය රජය මගේ දරුවා මරා විශ්‍රාම වැටුප් පනත හකුළා ගත්තා
- රොෂේන්ගේ මව කියයි

ප්‍රසාද් කුමාරසිංහ - ගුවන් තොටුපොළ

පසුගිය රජය පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් ගෙන ආ විශ්‍රාම වැටුප් පනතට එරෙහිව කටුනායක නිදහස්‌ වෙළෙඳ කලාප සේවකයන් කළ විරෝධතාවේදී පොලිස්‌ වෙඩි තැබීමෙන් මියගිය රොශේන් චානක සැමරුම් උත්සවයක්‌ ජුනි 01 දින කටුනායක පොලිසිය ඉදිරිපිටදී පැවැත්විණි. 2011 වසරේ මැයි 30 කටුනායක නිදහස්‌ වෙළෙඳ කලාප සේවකයන්ට පොලිසිය කළ වෙඩි තැබීමේදී තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රොශේන් චානක 2011 ජුනි 01 මිය ගියේය. නිදහස්‌ වෙළෙඳ කලාප සහයෝගිතාව සංවිධානය කළ මෙම සැමරුමට රොශේන්ගේ මව පියා හා සොහොයුරාද සහභාගි වුහ.

වර්තමානයේ මාධ්‍යයෙන් නිතරම කථා කරන ඇවන්ගාඩ් සමාගම මගේ මල්ලී මියගිය මොහොතේ සිට ඔහුගේ මිනිය භූමදානය කරන තෙක්‌ සහභාගි වුණා. මා හිතුවේ මෙය දේශපාලනය නොවූ සමාගමක්‌ ලෙස. අද වෙනකොට ඇවන්ගාඩ් කියන්නේ රාජපක්‍ෂ රෙජීමයේ එක්‌ අත්තක්‌ කියලා පැහැදිලියි. පසුගිය කාලයේ අපව මර්දනය කරලා තිබුණේ. මේවා ගැන කතා කරන්න හැකියාවක්‌ තිබුණේ නැති බව රොශේන් චානකගේ සොහොයුරකු වන තිළිණ මධුෂාන් පැවැසීය.

මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා මෙසේ පැවැසීය. කටුනායක සිදුවීම පිළිබඳව පත්කළ මහානාම තිලකරත්න වාර්තාව අද වෙනතෙක්‌ එළිදක්‌වා නෑ, අපි යහපාලන ආණ්‌ඩුවට කියනවා එම වාර්තාව කඩිනමින් ප්‍රකාශයට පත්කරන්න කියා.

එදා නීතිඥ සංගමයේ සභාපති වූ උපුල් ජයසූරිය මහතා වර්තමාන ආයෝජන මණ්‌ඩලයේ සභාපතිවරයා, මහින්ද රාජපක්‍ෂ රජයේ මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳව එතුමා ඒ කාලේ අභියෝග කළ නායකයෙක්‌. තමුන්නාන්සේ එදා මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටියා වගේ අද අපි වෙනුවෙන් පෙනී සිට මහානාම තිලකරත්න වාර්තාව එළිදක්‌වන ලෙස වර්තමාන ජනාධිපතිතුමාට බල කරන්න යෑයි පැවැසීය.

අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපි දෙකක්‌ යෑව්වා. ඒවාට තවම උත්තර නෑ.

පසුගිය රජය මගේ දරුවා මරලා ඊට පස්‌සේ විශ්‍රාම වැටුප් පනත හකුලා ගත්තා. රතුපස්‌වල දරුවෝ මරලා µeක්‌ටරිය අයින්කර ගත්තා. මේ වගේ දේ තවත් නොවේවා කියා ප්‍රාර්ථනා කරන බව රොශේන් චානකගේ මව වන කාන්ති මහත්මිය කීවාය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.