ශ්‍රීලනිප - එජාප ජාතික ආණ්‌ඩු ගිවිසුමක්‌ නෑ
- විපක්‍ෂ නායක නිමල් සිරිපාල නිවේදනය කරයි

ජාතික ආණ්‌ඩුවක්‌ සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කිසිදු අවබෝධතා ගිවිසුමකට එළඹ නැතැයි විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අම්බලන්තොට ථෙරිපුත්ත ප්‍රාථමික විද්‍යාලයේ දී කළ ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් විපක්‍ෂ නායකවරයා විසින් මෙම නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.

විපක්‌ෂ නායකවරයාගේ නිවේදනය මෙසේය.

ජාතික ආණ්‌ඩුවක්‌ සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංක නිදහස්‌ පක්‍ෂය අවබෝධතා ගිවිසුමකට එළඹ ඇති බවත්, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීම කිසිවෙකුටත් වැළැක්‌විය නොහැකි බවත් සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමා අම්බලන්තොට ථෙරපුත්ත ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැති උත්සවයකදී ප්‍රකාශ කළ බව ජනමාධ්‍ය ගණනාවක වාර්තා කර ඇත.

ජාතික ආණ්‌ඩුවක්‌ සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කිසිදු අවබෝධතා ගිවිසුමක එළඹි නොමැති බව ප්‍රකාශ කරන අතර සජිත් ප්‍රේමදාස මහතාගේ සාවද්‍ය ප්‍රකාශය පිළිකුල් සහගතව ප්‍රතික්‌ෂේප කරන බව මෙරට ජනතාවට ප්‍රකාශ කරනු කැමැත්තෙමි. ඉදිරි මහ මැතිවරණයකදී එක්‌සත් ජාතික පක්‍ෂයට අනිවාර්යෙන්ම මුහුණ පෑමට සිදුවන දැවැන්ත පරාජය දැන දැනම ගිලෙන්නට යන මිනිහා පිදුරු ගසක එල්ලෙනවා සේ ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන් හා විපක්‌ෂ ක්‍රියාකාරීන් අධෛර්ය කිරීමේ යටි අරමුණින් මෙවැනි සාවද්‍ය ප්‍රකාශ කිරීම තුළින් එක්‌සත් ජාතික පක්‍ෂයේ දේශපාලන බංකොලොත් භාවය ප්‍රදර්ශනය වන බව පැහැදිලිවම කිව යුතුය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමා කියන පරිදි ජාතික ආණ්‌ඩුවක්‌ සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්ෂය අවබෝධතා ගිවිසුමකට එළඹි ඇත්නම් එම ගිවිසුම ප්‍රසිද්ධිය පත් කරන ලෙසත් එහි පිටපතක්‌ මාධ්‍ය වෙත නිකුත් කරන ලෙසත් අභියෝග කර සිටිමු.

මනඃකල්පිත කරුණු ප්‍රකාශ කරමින් මෙසේ මෙරට ජනතාව නොමඟ යෑවීමට කටයුතු නොකරන ලෙස දැඩි සේ අවධාරණය කරන අතර මෙරට මීළඟ අගමැතිවරයා තීරණය කරන්නේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා නොව එළැඹෙන මහා මැතිවරණයේ දී ඡන්දය දෙන ජනතාව බවත්, පසුගිය මාස කිහිපය ඇතුළතදි ආර්ථිකය විනාශ කරමින් රට ණය බරින් පුරවමින් යහ පාලනය වෙනුවට දේශපාලන පළිගැනීම් සිදු කරමින් සමෘද්ධිලාභීන්ගේ මුදල් සිය දේශපාලන හිතවතුන්ට අනිසි ලෙස බෙදා දෙමින් සමස්‌ත සමෘද්ධි ව්‍යාපාරය විනාශ කිරීම තුළින් ජනතාව ලද කටුක අත්දැකීම් මෙවැනි ව්‍යාජ ප්‍රකාශ තුළින් යටපත් කළ නොහැකි බවද පෙන්වා දිය යුතුය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඇතුළු එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ඒකායන බලාපොරොත්තුව හා අභිප්‍රාය වනුයේ එළඹෙන මහා මැතිවරණයේ දී එක්‌සත් ජාතික පක්‍ෂය ඇතුළු ප්‍රතිගාමී බලවේග පරාජය කරමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ රජයක්‌ නිර්මාණය කිරීම බව සිහිපත් කරමි.

එහෙයින් නියත වශයෙන්ම එක්‌සත් ජාතික පක්‍ෂයට ලැබෙන පරාජය පිළිගැනීමට නොහැකිව ජාතික ආණ්‌ඩුව සංකල්පයට මුළාවී ඉදිරි මැතිවරණයට මුහුණදීමට කටයුතු කිරීම හාස්‍යයක්‌ බව සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමා ඇතුළු එක්‌සත් ජාතික පක්‍ෂයට මතක්‌ කරදෙමු.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.