අගමැතිට එරෙහි විශ්වාසභංගය භාරදෙයි
අත්සන් 112 යි; ඇමැතිවරු 15 දෙනකුත් අත්සන් කරති

අජිත් අලහකෝන්, කුෂාන් සුබසිංහ, අකිත පෙරේරා

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විපක්‍ෂයේ මෙන්ම ආණ්‌ඩුවේද මැති ඇමැතිවරුන් එකසිය දොළොස්‌ දෙනකුගේ අත්සන් සහිත විශ්වාස භංග යෝජනාව ඊයේ (05 දා) සවස පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙත එජනිස මන්ත්‍රීවරුන් විසින් භාර දෙන ලදී.

අගමැතිවරයා වෙත චෝදනා අටක්‌ එල්ල කර ඇති මෙම විශ්වාසභංග යෝජනාවට පෙරේදා (04 දා) රාත්‍රියේ හම්බන්තොටදී කතානායක චමල් රාජපක්‍ෂ මහතාගේ අනුමැතිය ලබාගත් බවද ඒ අනුව ඊයේ පස්‌වරු 2.35 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතාට භාරදුන් බවද රත්නපුර දිස්‌ත්‍රික්‌ (එජනිස) මන්ත්‍රී රංජිත් සොයිසා මහතා "දිවයින" ට ප්‍රකාශ කළේය.

විශ්වාසභංග යෝජනාව මහ ලේකම්වරයා වෙත භාරදීමට පෙර ඊට අත්සන් තැබූ සන්ධානයේ පක්‍ෂ නායකයන් විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්‌වී සාකච්ඡාවක්‌ද සිදුකර තිබේ.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා ආණ්‌ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ කැබිනට්‌ ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් පහළොස්‌ දෙනකු පමණ අත්සන් තබා ඇතැයිද රංජිත් සොයිසා මහතා පැවසුවේය.

ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනිව බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහයක්‌ නොමැතිව අගමැති ධුරයේ කටයුතු කිරීම, මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති අත්හිටුවීම, ලක්‍ෂ සංඛ්‍යාත පිරිසකගේ ජීවනෝපාය මාර්ග අහිමි කිරීම, පොලිස්‌ ආඥපනත උල්ලංඝනය කරමින් දේශපාලන පළිගැනීම් සඳහා සහ බියවැද්දීම සඳහා පොලිසිය බරපතළ ලෙස දේශපාලනීකරණය කිරීම, අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළ යැම, තේ, රබර් සහ වී සඳහා රජයේ සහතික මිල ලබා නොදීම නිසා අර්බුදයක්‌ නිර්මාණය කිරීම, ශ්‍රී ලංකා පුරවැසියකු නොවන සහ ශ්‍රී ලංකාවට පක්‍ෂපාතී නොවන බවට වෙනත් රටකට ප්‍රතිඥාවක්‌ ලබාදුන් අයකු මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කර රටේ සමස්‌ත මූල්‍ය ක්‍රමය සහමුලින් විනාශ කිරීම, භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම තුළින් ශ්‍රී ලංකා මහ බැංකු ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය වංචාවට හා ඒ තුළින් දැරිය නොහැකි ලෙස අඛණ්‌ඩව සිදුවන මූල්‍ය හානියට වගකීම ඇතුළු චෝදනා අටක්‌ යටතේ අගමැතිවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබේ.

විශ්වාසභංග යෝජනාව ඉදිරි දිනවල න්‍යායපත්‍රයට ඇතුළත් කෙරෙනු ඇතැයිද ඉන් පසු පක්‍ෂ නායක රැස්‌වීමක්‌ කැඳවා එය විවාදයට ගැනීමට දිනය තීරණය කරනු ඇතැයි ද රංජිත් සොයිසා මහතා කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.