20 ඉක්‌මන් කරන්න ජනමතය අපි හදන්නම්
- සෝභිත හිමියෝ ජනපතිට හා අගමැතිට කියති

දයා ලංකාපුර සහ අකිත පෙරේරා

නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ප්‍රථමයෙන් කැබිනට්‌ මණ්‌ඩලයෙන් අනුමත කරගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පෙරේදා (04 දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත. එහිදී එය සම්මත කර ගැනීම සඳහා ජනමතයක්‌ ඇති කිරීමට තමන් වහන්සේ ඇතුළු මහජන සංවිධාන සූදානම් බවද උන්වහන්සේ සඳහන් කර තිබේ.

උන්වහන්සේ මේ කරුණු සඳහන් කර ඇත්තේ මහජන සංවිධාන 50 ක පමණ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති රැස්‌වීමකදීය.

20 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ඉක්‌මනින් ගෙන එන ලෙස ඉල්ලා සිටීම සඳහා මෙම නියෝජිත පිරිස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවූ අතර, මෙම සංශෝධනය තවමත් කැබිනට්‌ මණ්‌ඩලය මගින් අනුමත නොවීම ගැන මෙහිදී සාකච්ඡා වී ඇත.

එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ 20 වැනි සංශෝධනය ගෙන ආවත් පාර්ලිමේන්තුවේ පවතින ප්‍රතිවිප්ලවකාරී තත්ත්වය නිසා එය සම්මත කර ගැනීම සැක සහිත බවයි.

මෙහිදී නියෝජිතයන් පෙන්වා දී ඇත්තේ ප්‍රතිවිප්ලවය පවතින්නේ කැබිනට්‌ මණ්‌ඩලය තුළ බවයි. 20 වැනි සංශෝධනය තවම කැබිනට්‌ මණ්‌ඩලය මගින් සම්මත කර ගැනීමට නොහැකි වී තිබෙන්නේද ඒ නිසා බවත් ඔවුන් පවසා තිබේ.

අගමැතිවරයා මෙය කැබිනට්‌ මණ්‌ඩලයෙන් අනුමත කර දෙන්නේ නම් තමා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සම්මත කර ගැනීමට කටයුතු කරන බවත් එයට ශ්‍රීලනිප යේ සහාය ලබා ගැනීමට තමාට පුළුවන් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශකොට ඇත.

යම් හෙයකින් 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමට නොහැකි නම් පමණක්‌ පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යැම ගැන තමන් එකඟ වන බව සෝභිත හිමියන් මෙහිදී ජනාධිපතිවරයාට පවසා තිබේ.

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාව ගැන සඳහන් වූ අවස්‌ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ ඒ ගැන තමන් බලාගන්නා බවයි.

මෙහිදී රාජිත සේනාරත්න ඇමැතිවරයා ප්‍රකාශකොට ඇත්තේ 20 වැනි සංශෝධනය සම්මත කර ගන්නා තුරු පාර්ලිමේන්තුව විසුරුවා නොහැරිය යුතු බවයි. ව්‍යවස්‌ථාදායක සභාව පත්කිරීම, තොරතුරු දැනගැනීමේ පනත ගෙන ඒම ආදී තවත් කටයුතු රැසක්‌ ඉටුකිරීමට තිබෙන බැවින් මේ අවස්‌ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් එය ඉදිරි මැතිවරණයේදී විපක්‍ෂය ආණ්‌ඩුවට විරුද්ධව සටන්පාඨ ලෙස යොදා ගැනීමට ඉඩ තිබෙන බවද ඒ මහතා පවසා තිබේ.

මාදුළුවාවේ සෝභිත, අතුරලියේ රතන, තීනියාවල පාලිත, මීටියාගොඩ ගුණරතන යන හිමිවරුද, පාඨලී චම්පික රණවක, දොස්‌තර රාජිත සේනාරත්න යන ඇමැතිවරුන්ද ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඇතුළු පිරිසක්‌ද මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.