'නැතිබැරි' කම් තමයි කවදත් උත්තරේ...

චමිල කරවිට

සිය මවුබිමේදී පැවැති තරගාවලියකදී වුවද අවසන් මහ තරගයකට හෝ සුදුසුකම් නොලැබීමට ප්‍රධානම හේතුව ලෙසින් තමන් දකින්නේ පුහුණුවීම්වලදී ජාත්‍යන්තර තරග පැවැත්වෙන ප්‍රමිතීන්ට අනුව වන පහසුකම් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොමැති වීම බව යෑයි වත්මන් ජාතික බැඩ්මින්ටන් පුහුණුකරු කමල් ගම්ලත් මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය විසින් දෙවැනි වරටත් පවත්වන ලද යොනෙක්‌ සන්රයිසස්‌ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ බැඩ්මින්ටන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30 කට ආසන්න පිරිසක්‌ තරග වැදුණු නමුත් ඉන් කිසිවකුත් අර්ධ අවසන් පූර්ව තරගයකින් ඉදිරියට ඒමට අපොහොසත් වූහ.

මෙම තත්ත්වයට හේතුව කුමක්‌ද යන්න 'දිවයින' විසින් කරන ලද විමසීමකදී ගම්ලත් මහතා ඉහත අදහස්‌ පළ කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා, ''බලන්න මේ තරගයේදී අපි ක්‍රීඩා කරනු ලබන බැඩ්මින්ටන් මල දිහා. පුහුණුවීම්වලදී අපේ ළමයින්ට මේවා භාවිතා වෙන්නේ නැහැ. මෙයිට වඩා හාත්පසින්ම වෙනස්‌ සහ මුදලින් අඩු මලක්‌ තමයි අපිට සෙල්ලම් කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි තරග කරනු ලබන ක්‍රීඩා පිටිය. ජාත්‍යන්තර තරග පැවැත්වෙන්නේ රබර් තට්‌ටුවකින් සමන්විත වූ මතු පිටක. නමුත් අපිට ක්‍රීඩා කරන්න තියෙන්නේ ලී මතු පිටක. ඉදිරියට යැමේදී මේවා සෘජුවම බලපාන සාධක'' යෑයි සඳහන් කළේය.

මෙහිදී දිවයින සිදුකරන ලද කරුණු අනාවරණයකදී ජාත්‍යන්තර තරග සඳහා යොදා ගැනෙන බැඩ්මින්ටන් මලක්‌ මුදලින් රු. 3500 කට අධික වන අතර එවැනි ආකාරයේ මල් ලබා දීම මූල්‍ය ශක්‌තියක්‌ නොමැති බැඩ්මින්ටන් ආයතනයට දරාගත නොහැක්‌කක්‌ බවට පත්ව තිබේ. එමෙන්ම ක්‍රීඩා කිරීම සඳහා යොදා ගනු ලබන රබර් මතු පිටක්‌ සහිත ක්‍රීඩා පිටියක්‌ ඇත්තේ නම් එය සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ පමණක්‌ පවතින අතර ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීම සඳහා බැඩ්මින්ටන් සංගම් මූලස්‌ථානයේ තිබෙන ක්‍රීඩා පිටිය ලී මතු පිටකින් සමන්විත වන එකක්‌ බව සනාථ විය.

''ඒක තමයි මම මේ තරගාවලිය ආරම්භයේදීම කිව්වේ අපේ අය අඩුම තරමින් අර්ධ අවසන් පූර්ව තරගයකට හෝ ගියොත් ලොකු දෙයක්‌ කියලා. ඒ කිව්වා වගේම අචිනි (රත්නසිරි) සහ උපුලි(සමන්තිකා) දෙන්නා අදාළ කඩඉම වෙත ආවා. පිරිමි අංශයේත් දිනූක(කරුණාරත්න) ලොකු සටනක්‌ ලබා දුන්නා'' යනුවෙන් ජාතික පුහුණුකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ප්‍රවීණයන් සිව් දෙනෙකුට උපහාර

මේ අතර අද (06 දා) පැවැත්වීමට නියමිත ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ප්‍රවීණ බැඩ්මින්ටන් ක්‍රීඩකයන් සිව් දෙනෙකුට උපහාර පිරිනැමීමට තරගාවලි සංවිධායකයෝ පියවර ගෙන තිබේ.

මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවට දක්‍ෂයන් බිහි කරලීම මෙන්ම බැඩ්මින්ටන් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ඉටු කරන ලද අමිල මෙහෙවර ඇගයීම වෙනුවෙන් මෙම උපහාර පිදීම සිදු කෙරෙනු ඇත.

බස්‌නාහිර පළතේ එල්. ආර්. ආරියනන්ද ද සිල්වා, මධ්‍ය පළාතේ කේ. යූ. බී. වෙලගෙදර, උතුරු මැද පළාතේ ඒ. එම්. විමලරත්න සහ වයඹ පළාතේ එස්‌. ඒ. එස්‌. දිසානායක යන මහත්වරුන් එසේ උපහාර ලැබීමට නියමිතව තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.