අද නොවේ හෙට!

අද නොවේ හෙට!

අද නොවේ හෙට!


රටේ ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ වාසු මැති සභයේ කුණුහරුප කීම දැයි හිතෙන තරමට අනෙක්‌ ප්‍රශ්න හිතා මතාම හෝ අමතක කරන පිළිවෙළක්‌ දක්‌නට ලැබේ. වාසු කළේ හොඳ වැඩක්‌ යෑයි කීම අපේ උත්සාහය නොවේ. ඒ ප්‍රශ්නය තරමටම වැදගත් මැති සභය විසුරුවීමේ ප්‍රශ්නය යටගසන්නේ මන්දැයි විමසීමය.

ළඟම උදාහරණයක්‌ හැටියට සඳහන් කළොත් පසුගිය තුන්වැනිදා සිදුවූයේ ද එයමය. පාර්ලිමේන්තුව එදින කැඳවූයේ හදිසි සැසිවාරයක්‌ සඳහාය. ඒ දැනට පත්කර තිබෙන ව්‍යවස්‌ථාදායක සභාව සඳහා නියෝජිතයන් තිදෙනකුගේ නම් අනුමත කරගැනීම සඳහාය. එහෙත් කතාව (න්‍යායපත්‍රය) වෙනත් අතකට පෙරැළිණි. දෙපාර්ශ්වයම එදින බැඳුම්කර වංචාව ගැන ගාලගෝට්‌ටියක පැටලී තිබේ. (බැඳුම්කර වංචාව වෙනමම කතා බහ කළ යුත්තකි. ඒ ගැන වාදයක්‌ නැත.) එදින ආණ්‌ඩු පක්‍ෂයෙන් ද, විපක්‍ෂයෙන් ද පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු යෑයි යෝජනා වී ඇත. විශේෂත්වය වන්නේ කථානායකවරයා ද එයට එකඟතාව පළ කිරීමය. එහෙත් මේ විසුරුවීමේ කතාන්දරය තවමත් "අද නොවේ හෙටය..."

පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු යෑයි කීම දැන් පොදු හඬක්‌ බවට පත්ව තිබේ. එහෙත් ඒ පොදු හඬට කන්දීමක්‌ සිදු නොවේ. "මෝඩ තකතීරු" වෙකුට හැර සිහි බුද්ධිය ඇති ඕනෑම කෙනකුට තේරුම් යන මේ කාරණය ආණ්‌ඩුවට නොඇසෙන්නේ ඇයි දැයි අපට නොතේරේ.

එකින් එක සඳහන් නොකළාට පාර්ලිමේන්තුව සතු වගකීම් රාශියකි. මූල්‍ය පාලනය එහි වැදගත්ම වගකීමයි. රටේ පොදු ප්‍රශ්නය වන්නේ දැන් තිබෙන්නේ තමන් පත් කළ ජනතා නියෝජිතයන් සහිත එවැනි වගකීමක්‌ සහිත පාර්ලිමේන්තුවක්‌ ද යන්නයි. මොනවා නැතත් දැන් පාර්ලිමේන්තුව රැස්‌වේ. ඒ සඳහා වැය වන්නේ සුළුපටු වියදමක්‌ නොවේ. කිසිවකුටත් ඒ ගැන වගක්‌ නැත.

දින සියයේ කතන්දරයේදී ජනාධිපති බලතල අඩු කිරීම සහ බඩු මිල අඩු කිරීම කෙරෙහි වැඩි බරක්‌ යෙදූ වග ඇත්තය. ඒත් පොරොන්දු න්‍යාය පත්‍රයේ දින සියයෙන් පසු මහ මැතිවරණයකට යැමේ පොරොන්දුවක්‌ ද වූ වග අමතක නොකළ යුතුය. දින සියය අවසන් වූ වහාම රටේ මේ ගැන කතාබහක්‌ ඇති විය. රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේ කළ යුතු වැඩ අහවර කර මහ ඡන්දයට යා යුතු බවය. ගෞරවනීය මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් කීවේද එතරම් කලබල විය යුතු නැති බවය. තවත් අය විවිධ වැල්වටාරම් කී නමුත් ඒ කිසිවක්‌ වැදගත් නැත. අද වනවිට මාදුළුවාවේ සෝභිත හිමි ප්‍රමුඛව විමල්, දිනේෂ් සහ තවත් බොහෝ දෙනා මැති සභය විසුරුවා මහ ඡන්දයකට යා යුතු යෑයි කියන්නාහ. ඒ විතරක්‌ නොවේ ගරු කථානායකතුමා ද ඊට කැමැති බව පවසා තිබේ. තාමත් වැට උඩ සිටින්නේ ගරු රාජිත සේනාරත්න ඇමැතිතුමාය. ඔහු කියන්නේ 20 සම්මත කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවන බවය.

ඒ නිසාම අද (08 දා) විසිවැනි සංශෝධන කෙටුම්පත අනුමත කරගැනීම සඳහා විශේෂ කැබිනට්‌ රැස්‌වීමක්‌ කැඳවා ඇතැයි කියති.

මොන දේ සම්මත කරන්නටත් පාර්ලිමේන්තුවේ ඉඩක්‌ තිබේද යන්න ගැටලුවකි. 19 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පත සම්මත කරගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව පිටියට බැස ක්‍රීඩකයන් දිරිමත් කළ බව අමතක කළ යුතු නොවේ.

අස්‌ථාවර පාර්ලිමේන්තුවකින් රටේ සංවර්ධනයක්‌ බලාපොරොත්තු විය නොහැක. එයට විදෙස්‌ ආයෝජන, ණය ආධාර කිසිවක්‌ ලැබෙන්නේ නැත. ජනතාවට තේරෙන ටික දේශපාලනඥයන්ට නොතේරෙන්නේ රටේ අවාසනාවටය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.