විදුලියෙන් දුවන වාහනවලටත් වැඩි ඉඩක්‌

චමින්ද සිල්වා

විදුලියෙන් ධාවනය වන වාහන මෙරට වෙළෙඳ පොළට වැඩිපුර හඳුන්වාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්‌ති ඇමැති චම්පික රණවක මහතා ඊයේ (7 වැනිදා) පැවැසීය.

මෙරට ඉන්ධන භාවිතය අවම කිරීමේ අරමුණින් පාපැදිය නැවත ප්‍රචලිත කිරීමේ වැඩසටහන් ඊයේ (7 වැනිදා) ඇමැතිවරයා ප්‍රමුඛ පාපැදිකරුවන් දහසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. එහිදී ඇමැතිවරයා මෙම අදහස්‌ ප්‍රකාශ කළේය.

නියමු ව්‍යාපෘතියක්‌ ලෙස පැවැති මෙම වැඩසටහනේදී ඇමැතිවරයා ප්‍රමුඛ පිරිස බත්තරමුල්ල ජපන් මිත්‍රත්ව පාලම අසල සිට නිදහස්‌ මන්දිරය තෙක්‌ පාපැදිවලින් පැමිණියහ.

මෙම අවස්‌ථාවේදී ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්‍ෂ මෙන්ම පාපැදි සංගමයේ සභාපති අමල් හර්ෂ ද සිල්වා මහතාද ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ පාපැදි සංගම්, ඛනිජ තෙල් සංස්‌ථාව, විදුලිබල මණ්‌ඩලය යන ආයතනවල සාමාජිකයෝ පිරිසක්‌ද පාපැදිවල නැගී ඇමැතිවරයා සමග මෙම ගමනට එක්‌ව සිටියහ.

ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් කියා සිටියේ මෙරට වෙළෙඳ පොළට විදුලියෙන් ධාවනය වන වාහන හඳුන්වාදී එම වාහනවල විදුලි කෝෂ යළි පණගැන්වීම (චාඡ් කිරීම) වෙනුවෙන් විදුලි සහනයක්‌ පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කරන බවය.

ජාතික ඖෂධ අධිකාරියේ සභාපති අමල් හර්ෂ ද සිල්වා මහතා මෙහිදී කියා සිටියේ පෝසත් අය සඳහා හඳුන්වා දීමට කටයුතු කළ මෙම ව්‍යාපෘතිය මගින් දියවැඩියාව, හෘදයාබාධ, අඝාතය (අංශ භාගය), ස්‌ථූලතාව ඇතුළු රෝග12 ක්‌ පමණ වැළඳීමෙන් ආරක්‍ෂා විය හැකි බවය.

වසර තිස්‌පහක්‌ රත්නපුරේ සිට කොළඹට පාපැදියෙන් පැමිණ රැකියාව කළ ජාතික පාපැදි ශූරයකු වන ඒ. එම්. සුමනවීර මහතාද, බොනිපස්‌ පෙරේරා, සී. සුගතපාල, නිහාල් කුලසේකර, වී. හේමපාල, සේන රණසිංහ ඇතුළු දැනට දිවයිනේ සිටින පාපැදි ශූරයෝ රැසක්‌ද මෙම අවස්‌ථාවට එක්‌වූ අතර ඒ පිරිස ඇමැතිවරයා සමග ඊයේ (07 දා) මෙම සංකේතාත්මක පාපැදි සවාරියට එක්‌වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.