ජනපති මෛත්‍රී සිටිනතුරු
රනිල්ට එරෙහි විශ්වාසභංගය හරියන්නේ නෑ


ඇමැති පී. හැරිසන් කියයි


අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විපක්‍ෂ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවට භාරදී තිබෙන විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම හෝ ඒ පිළිබඳ ඡන්ද විමසීමක්‌ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිටින තාක්‌ සිදු නොවනු ඇති බව සමාජ සේවා හා සමාජ සුබසාධන, පශු සම්පත් ඇමැති පී. හැරිසන් මහතා පැවසීය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ මිහින්තලා ආසනයේ නව ප්‍රධාන සංවිධායක අධි නීතිඥ කරුණාරත්න හේරත් මහතාගේ පක්‍ෂ කාර්යාලය අනුරාධපුර බණ්‌ඩාරනායක මාවතේදී (06 දා) දවල් විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්‌සත් ජාතික පක්‍ෂයේ සහයෝගය තිබෙන තුරු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අන්තවාදීන් හට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට ඉඩ නොදෙන බවත් හෙතෙම පැවසීය.

මෙම උත්සවයේදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද කීවේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන එමින් ඔහු එළවීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ උත්සාහ දරන්නෙ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැතිවරයා අතර තිබෙන සමගිය තවදුරටත් පැවතුණහොත් එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව පෙරළන්න බැරි බව තේරුම් ගෙන සිටින නිසයි.

එක්‌සත් ජාතික පක්‍ෂය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් සමන්විත ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් බහුතර පිරිසකගේ සහය ඇතිව ඉදිරියේදී හදන ජාතික ආණ්‌ඩුව කඩන්න බැරි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වටා සිටින හොර නඩය දන්නවා.

ඒ අයට දැන් අවශ්‍ය වී තිබෙන්නේ විශ්වාසභංග යෝජනාවක්‌ ගෙනවිත් රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කර ආණ්‌ඩු බලය අතට ගන්න.

දැන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පිරිසක්‌ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම පක්‍ෂයේ නායකත්වයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මේ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ගම්පහ දිස්‌ත්‍රික්‌ බල මණ්‌ඩලය රැස්‌වී වෙනමම යෝජනාවක්‌ සම්මත කර ගෙන තිබෙනවා. අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්‌සත් ජාතික පක්‍ෂයේ සහයෝගය තිබෙනතුරු එම පක්‍ෂයේ අන්තවාදී හොරුන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට අපි ඉඩ දෙන්නෙ නෑ.

මෙහිදී කාන්තා කටයුතු ඇමැති චන්ද්‍රdනි බණ්‌ඩාර මහත්මිය සහ අධිනීතිඥ කරුණාරත්න හේරත් මහතා ඇතුළු පිරිසක්‌ද කතා කළහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.