විශ්වාසභංගය ගෙනැවිත් ඇත්තේ දේශපාලන දඩයමට එරෙහිවයි

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ කියයි

බොරු ප්‍රචාර, මහා පරිමාණ දූෂණ හා පෙර නොවූ විරූ ආකාරයේ දේශපාලන විරුද්ධවාදීන් දඩයම මෙම ඓතිහාසික විශ්වාසභංග යෝජනාවට හේතු වී ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව ගැන නිවේදනයක්‌ නිකුත් කරමින් සඳහන් කර සිටී.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩක්‌ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවකට අත්සන් කොට තිබේ. වෙස්‌මිනිස්‌ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායේ මුළු ඉතිහාසය පුරාම මෙතරම් විශාල මන්ත්‍රීවරු ප්‍රතිශතයක්‌ විශ්වාසභංග යෝජනාවකට අත්සන් තැබූ මුල් අවස්‌ථාව මෙය විය හැක. මෙවන් තත්ත්වයක්‌ උද්ගතවීම ගැන මම මවිත නොවන්නේ මේ ආණ්‌ඩුවේ සදාචාර විරෝධී හැසිරීම මම ද සෘජුවම අත්දැක තිබෙන නිසාය. මීට සතියකට පමණ පෙර මහාමාර්ග අමාත්‍යාංශය විසින් ණයට ගත් රුපියල් බිලියන 28 ක මුදලක්‌ මහාමාර්ග තැනීමට නොව හෙලිකොප්ටර් ගමන් යැමට හා දන්සල් පැවැත්වීම වැනි වෙනත් කටයුතු සඳහා මා විසින් අවභාවිතයට ලක්‌කර තිබෙන බව අගමැතිවරයා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේය.

නමුත් මහාමාර්ග අමාත්‍යාංශයේ ලියවිලිවලින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගත් මෙම කෙටිකාලීන ණය මුදල වියදම් වූ ආකාරය පැහැදිලි වෙයි. ඉන් රුපියල් බිලියන 6.5 ක්‌ වැයකොට තිබුණේ පිටත වටරවුම් මාර්ගය හා "එක්‌සත් රාජධානියේ යකඩ පාලමේ ව්‍යාපෘතිය" ඇතුළු විදේශීය මුල්‍ය ප්‍රතිපාදන මත ඉදිකෙරෙන ව්‍යාපෘති 22 ක දේශීය පංගුව ගෙවීමටය. තවත් රුපියල් බිලියන 14 ක්‌ මාර්ග පළල් කිරීම හා වැඩිදියුණු කිරීමටත් රුපියල් බිලියන 4 ක්‌ පාලම් නඩත්තුව හා අලුත්වැඩියාවටත්, අවසන් බිලියන් 3.7 මගනැඟුම ග්‍රාමීය මාර්ග ව්‍යාපෘතිය සඳහාත් යොදවා ඇත. මේ බිලියන 28 ක මුදල මහාමාර්ගවලට නොව වෙනත් කටයුතුවලට අවභාවිත කර තිබෙනවා යෑයි අගමැතිවරයා කී කතාව සම්පූර්ණ මුසාවකි.

මාගේ පාලන සමයේ රජයේ මුදල් අවභාවිතය ගැන සාවද්‍ය ප්‍රචාර ගෙන යන අතර වත්මන් ආණ්‌ඩුව භාණ්‌ඩාගාර බැඳුම්කර මගඩියක්‌ හරහා රටට බිලියන 50 ක පාඩුවක්‌ දැනටම සිදුකොට ඇත. මේ අතරතුර මෑතකදී පිහිටුවන ලද කැබිනට්‌ අනු කමිටුවකට සෘජුවම වගකියන "ගෙස්‌ටාපෝ" තාලයේ පොලිස්‌ ඒකකය හරහා මේ ආණ්‌ඩුව තම දේශපාලන විරුද්ධවාදීන් බන්ධනාගාරගත කරමින් සිටී. වත්මන් ආණ්‌ඩුව යටතේ සිදුකෙරෙන බොරු ප්‍රචාර, මහා පරිමාණ දූෂණ හා පෙර නොවූ විරූ ආකාරයේ දේශපාලන විරුද්ධවාදීන් දඩයම මේ ඓතිහාසික විශ්වාසභංග යෝජනාවට හේතු වී ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.