බුලත් කොළය නැතොත් මහින්ද පුටුවෙන්!
නායකත්වය භාරගෙන ජාතික ලැයිස්‌තුවෙන් එන්නැයි යෝජනා


චමින්ද සිල්වා

එළඹෙන මහ මැතිවරණයේදී තමන් තරග කරන සන්ධානයේ නායකත්වය ගෙන ජාතික ලැයිස්‌තුවෙන් මැතිවරණයට ඉදිරිපත් වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත් පාර්ශ්වයන්ගෙන් යෝජනා ඉදිරිපත් වී ඇත.

හිටපු ජනාධිපතිවරයා එක්‌ දිස්‌ත්‍රික්‌කයක්‌ නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට වඩා ජාතික ලැයිස්‌තුවෙන් ඉදිරිපත් වන්නේ නම් රට පුරා ඡන්ද ප්‍රචාරක කටයුතුවලට සහභාගි විය හැකි බැවින් මෙම යෝජනා ඉදිරිපත් වී ඇතැයි ඒ මහතාට සමීප ආරංචි මාර්ගවලින් ඊයේ (07 වැනිදා) "දිවයින" ට වාර්තා වේ.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ බුලත් කොළයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්‍ෂා කරගෙන සිටින බවත් එයට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ බහුතර කැමැත්ත නොලැබී ගියහොත් පොදුජන එක්‌සත් පෙරමුණ යටතේ පුටුව ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වීමට අදහස්‌ කරගෙන සිටින බවත් එම ආරංචි මාර්ග පැවසීය. පොදුජන එක්‌සත් පෙරමුණේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ මහ ලේකම්වරයා ලෙස හිටපු අගමැති දි. මු. ජයරත්න මහතා කටයුතු කිරීම නිසා පුටුව ලකුණින් තරග කිරීම ගැටලුවක්‌ නොවන බව ද එම ආරංචි අවධාරණය කර සිටියේය.

මේ වන විට හිටපු ජනාධිපතිවරයාට ජාතික ලැයිස්‌තුවෙන් ඉදිරිපත් වන ලෙස බහුතරය කර තිබෙන ඉල්ලීම කෙරෙහි ඔහුගේ අවධානය ද යොමු වී ඇතැයි කී එම ආරංචි මාර්ග පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ එය රටට හෙළි කෙරෙනු ඇතැයි ද වැඩිදුරටත් පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.