දරු දෙදෙනා සමග හිරෙන් පැන ගිය කතට
හෙරොයින් ලැබුණු හැටි සොයා පරීක්‍ෂණ

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

කළුතර බන්ධනාගාර ළමා හා කාන්තා සුරැකුම් මධ්‍යස්‌ථානයේ අත දරුවන් දෙදෙනකු සමඟ සිර දඬුවම් විඳිමින් සිටියදී පැනගිය සිරකාරිය අතට හෙරොයින් මත් කුඩු ලැබුණේ කෙසේද යන්න ගැන පොලිසිය පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ඉකුත් මැයි 21 වැනිදා ගල්කිස්‌ස අධිකරණයෙන් මෙම සිරකාරියට ද ඇයගේ සැමියාට ද අපරාධ නඩුවක්‌ සම්බන්ධයෙන් වරදකරුවන් වීම නිසා වසර දෙකයි මාසයක සිර දඬුවම් නියම වී ඇතැයි ද ඇයගේ සැමියා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබා ඇති අතර මැයි 30 වැනිදා ඇය අත දරුවන් දෙදෙනා සමඟ කළුතර බන්ධනාගාර සුරැකුම් මධ්‍යස්‌ථානයට එවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. ඉකුත් 5 වැනිදා මෙම සිරකාරිය සිය දරු දෙදෙනා සමඟ බන්ධනාගාර සුරැකුම් මධ්‍යස්‌ථානයේ කම්බි දැලක්‌ කපා පැන ගොස්‌ ඇතැයි සැලවීමත් සමඟම බන්ධනාගාර නිලධාරීන් කළුතර ජාවත්ත ප්‍රදේශයේ මෙහෙයුමක්‌ කර සැකකාරිය හා දරු දෙදෙනා අත්අඩංගුවට ගෙන එදින සවස කළුතර උතුර පොලිසියට පැනගිය සිරකාරිය හෙරොයින් පැකට්‌ 10 ක්‌ මිලිග්‍රෑම් 710 ක්‌ සමඟ අත්අඩංගුවට ගත් බවට පැමිණිල්ලක්‌ කර ඇත.

මෙම සැකකාරියට එරෙහිව සිර ගෙදරින් පැන යැම හා හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාර අධිකරණය හමුවේ චෝදනා ළඟදීම ගොනු කිරීමට නියමිතය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.