දෛවය මට හරස්‌ වුණා
ඔයා ළමයි දෙන්නා බලාගන්න කියා
මහත්තයා ලිපියක්‌ එවා තිබුණා

මියගිය සැරයන්ගේ බිරිඳ කියයි

ඔහිය කැලයෙන් ඇටකටු හමු වූ පොලිස්‌ නිලධාරියාගේ මරණ පරීක්‍ෂණය


කරුණාරත්න පල්ලේගම - බණ්‌ඩාරවෙල

වසර තුනක්‌ පමණ කිසිදු තොරතුරක්‌ නොමැතිව අතුරුදන්ව සිටි මගේ මහත්තයාගේ බඩු වගයක්‌ නුවරඑළිය ඔහිය කැලයේ තිබී හපුතලේ පොලිසියට හමුවී ඇති බව මාවතගම පොලිසියෙන් අපට දැනුම් දීම නිසා හපුතලේ පොලිසියට පැමිණි අපට පොලිස්‌ නිලධාරීන් විසින් ඔහිය කැලයේ තිබී සැමියාගේ ඇඳුම් කොටස්‌ ඇතුළු බඩු රැසක්‌ අපට ඉදිරිපත් කළා.

පොලිස්‌ සැරයන්වරයකු ලෙස සෙට්‌ටිකුලම පොලිසියේ සේවයේ යෙදී සිටින අතරතුර නිවාඩුවකට පැමිණ නැවත සේවයට නොගොස්‌ අතුරුදන්ව සිටි මාවතගම වැළඹ ආ¹ගල පදිංචි අත්තනායක මුදියන්සේලාගේ ගුණපාල ප්‍රසාද් පුෂ්පකුමාර (48) නමැති අයගේ මරණ පරීක්‍ෂණයේදී ඔහුගේ බිරිඳ වන රජමුණි දේවගේ ආරියවංශ සමන්ත රාජමුණි (46) මහත්මිය මෙසේ පැවැසුවාය.

මෙම මරණය පිළිබඳව මරණ පරීක්‍ෂණය දියතලාව මූලික රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක ඩී. එච්. දිසානායක මහතා විසින් සිකුරාදා (5 දා) හවස දියතලාව මූලික රෝහලේදී සිදුකළ අතර සාක්‍ෂි මෙහෙයවීම හපුතලේ පොලිසියේ පො.සැ. (29884) ආනන්ද සහ පො.කො. (4333) ධර්මරත්න යන මහත්වරුන් විසින් සිදු කළහ. වැඩිදුරටත් සාක්‍ෂි දෙමින් මියගිය අයගේ බිරිඳ වන රාජමුණි දේවගේ සමන්තා රාජමුණි මහත්මිය මෙසේද පැවැසුවාය.

අපි ප්‍රේම සම්බන්ධයකින් 1992 වර්ෂයේ විවාහ වුණා. අපට විවාහයෙන් දුවලා දෙන්නෙක්‌ ඉන්නවා. මම රැකියාවක්‌ නොකර දරුවන් බලාගෙන ඉන්නවා. මාගේ සැමියා පොලිසියේ සේවය කළා. සැරයන්වරයෙකු ලෙස සේවය කළ මගේ සැමියා අන්තිමට සෙට්‌ටිකුලම පොලිසියේ සේවය කළා.

මාගේ සැමියාට කිසිදු මානසික රෝගයක්‌ තිබුණේ නෑ. සැමියා අතුරුදන් වෙන්න මාස තුනකට පමණ පෙර සිට ගෙදර ආවාම කල්පනා කර කර ඉන්නවා. ඇහුවම මොකුත් කියන්නෙත් නෑ. හැම වෙලාවෙම තනියෙන් ඉන්න හදනවා. හැම මාසයකම එයා ගෙදර එනවා.

අන්තිමට එයා 2012.4.11 වැනි දින ගෙදර ඇවිත් 2012.04.14 වැනි දින වැඩට යනවා කියා ගෙදරින් උදේ 6.15 ට පමණ ගියා. උදේ 7.30 ට පමණ කතා කරන විට කුරුණෑගල ඉන්නවා කීවා. හවස කතා කළත් ෆෝන් එක වැඩ කළේ නෑ. පොලිසියට කතා කළාම වැඩට ආවේ නෑ කීවා.

ඊට පසුදා උදේ 10.30 ට පමණ මහත්තයා කතා කර කීවා ඊයේ වැඩට ගියේ නෑ. අම්ම බලන්න ගියා කියලා. අද වැඩට යනවා කීවා. නමුත් අයියට කතා කළාම අම්ම බලන්න ආවේ නෑ කීවා.

එදායින් පසු කෝල් ගන්නත් ෆෝන් එක වැඩ කළේ නෑ. සෙට්‌ටිකුලම පොලිසියට කතා කළාම ආවේ නෑ කිව්වා. අප්‍රේල් 23 වැනි දින ඔහු විසින් 17 වැනි දින ලියා නුවරඑළියෙන් තැපැල් කළ ලිපියක්‌ මට ලැබුණා. එහි සඳහන් කර තිබුණා මං කාටවත් වැරැද්දක්‌ කළේ නෑ. හොරකම් කළේ නෑ. කාටවත් යටත්වෙලා ඉන්න බෑ. දෛවය මට හරස්‌ වුණා. ඒක නිසා ඔයා ළමයි දෙන්නා බලාගෙන ඉන්න කියලා.

මේ ලිපිය ලැබුණාම මාවතගම පොලිසියට පැමිණිල්ලක්‌ කළා. ඊට පසු කිසිදු සහනයක්‌ නොමැති නිසා පොලිස්‌ සහන මැදිරියට පැමිණිලි කළා. හැම තැනම පුද පූජා පැවැත්වූවා. භාරහාර වුණා. නමුත් කිසිදු තොරතුරක්‌ ලැබුණේ නෑ.

එසේ සිටියදී 2015.06.03 දා රාත්‍රියේ මාවතගම පොලිසියෙන් ඇවිත් දන්වා සිටියා මහත්තයාගේ බෑගය තියෙනවා. හපුතලේ පොලිසියට ගිහින් තොරතුරු ලබාගන්න කියලා.

එහෙම ආපු අපට හපුතලේ පොලිස්‌ නිලධාරීන් ඔහිය කැලෑවේ තිබී මහත්තයාගේ බෑග් එකත්, හැඳුනුම්පතත් ඇටකටුත් හමු වූ බව පවසා හඳුනා ගැනීමට අපට පෙන්නුවා. මෙම මරණය ගැන සැකයක්‌ නෑ. කිසියම් සිත් වේදනාවක්‌ හා කලකිරීමක්‌ නිසා සිය දිවි හානිකර ගන්න ඇතැයි සිතනවා. මියගිය පොලිස්‌ සැරයන්වරයාගේ වැඩිමහලු සහෝදරයෙකු වන අස්‌ඇද්දුමේගෙදර පීරිස්‌ මහතා (52),

මා මේ වන විට විවාහවෙලා බිරිඳ සහ දරුවන් සමග තලාව කුමාරඑළිය අංක 410/1/53 ලිපිනයේ පදිංචිව සිටිනවා. මාත් සමග අපේ පවුලේ දරුවන් නව දෙනකු සිටින අතර මෙසේ මියගොස්‌ සිටින්නේ පිරිමි අයගෙන් බාලයා.

මල්ලී පොලිස්‌ සැරයන්වරයෙකු ලෙස සෙට්‌ටිකුලම පොලිසියේ සේවය කළා. එයා මාසයකට වරක්‌ ගෙදර එනවා. ඒ ගෙදර ආවාම මාස තුනකට විතර වරක්‌ අපි බලන්න අපේ ගෙදරත් හැම මාසෙම අම්ම බලන්නත් එනවා. එයා පවුලේ සෑම දෙනාම සමග හොඳින් හිටියා. බිරිඳ සහ දරුවන් සමගත් ඉතා හොඳින් හිටියා.

එයා අතුරුදන් වුණාම අපි හැම තැනම හෙව්වා. ඒත් කිසිම තොරතුරක්‌ දැනගන්න බැරිවුණා. අන්තිමේ මාවතගම පොලිසියෙන් කීවාම අපි හපුතලේ පොලිසියට ආවා. එහිදී මල්ලීගේ හැඳුනුම්පත බෑගය සහ ඇටකටු හමුවූ බව අපට කීවා. ඒවා අපට පෙන්නුවා. මේ මරණය ගැන සැකයක්‌ නෑ. කලකිරීමක්‌ නිසා සියදිවි හානිකර ගන්න ඇතැයි සිතනවා. මෙම මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණ සිදු කිරීමට ඔහිය කැලෑවේ තිබී හමු වූ ඇටකැබලි බදුල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එච්. ටී. කේ. විඡේවීර මහතා වෙත යෑවීමට නියෝග කර තිබෙන අතර එහි වාර්තාව අනුව මරණ පරීක්‍ෂණ තීන්දුව ලබාදෙන බව හදිසි මරණ පරීක්‍ෂක ඩී. එච්. දිසානායක මහතා ප්‍රකාශ කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.