ඇහැලියගොඩ මාරක අනතුරින් ඉද්දමල්ගොඩ මරණ 4ක්‌

පරකඩුව ඇහැලියගොඩ - බී. ජී. විමලවංශ

කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇහැලියගොඩ මෝරගල අසලදී 2015 ජුනි 6 දා අලුයම සිදු වූ මාරක රිය අනතුරකින් හතර දෙනකු මියගොස්‌ දෙදෙනකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි ඇහැලියගොඩ පොලිසිය පවසයි.

5 වැනිදා රාත්‍රි ඇහැලියගොඩ නගරයේ පැවැති පොසොන් පෙරහැර බලා ආපසු යමින් සිටි ත්‍රිරෝද රථයක්‌ යතුරුපැදියක ගැටී මාර්ගයේ පෙරළී ඉදිරියෙන් පැමිණි බස්‌ රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇත. ත්‍රිරෝද රථය ඇහැලියගොඩ සිට ඉද්දමල්ගොඩ වෙත ධාවනය වෙමින් සිට ඇති අතර බස්‌ රථය (පුද්ගලික) කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබී ඇත. සිද්ධියෙන් මියගියේ ත්‍රිරෝද රථයේ ගමන්ගත් රියෑදුරු ඇතුළු එකම ගමේ (ඉද්දමල්ගොඩ) 4 දෙනෙකි. මෙසේ මියගියේ ත්‍රිරෝද රථයේ රියෑදුරු ඊ. ඒ. චමින්ද (29), එස්‌. එල්. එම්. තරිඳු (17), ඩබ්. ත්‍රිවංක (16), පී. කේ. ඩිලාන් (18) යන අයයි. යතුරුපැදියේ ගමන් ගත් මවක හා අවු. 12 ක ළමයකු ඇහැලියගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි. ඇහැලියගොඩ පොලිසිය පැවැසුවේ ඇහැලියගොඩ මෑත ඉතිහාසයේ සිදු වූ ලොකුම අනතුර මෙය බවයි.

නොසැලකිල්ලත් අධික වේගයත් අනතුරට හේතුවූ බව පොලිසිය පවසයි. දරුවන්ගේ ගමන් ගැන දෙමාපියන් මීට වඩා සැලකිලිමත් විය යුතු බවත් පොලිසිය කීය. ඇහැලියගොඩ පොලිස්‌ ස්‌ථානාධිපති පො.ප. නිරෝෂන් ධර්මසේන මහතාගේ උපදෙස්‌ මත රථ වාහන අංශයේ ස්‌ථානාධිපති උ.පො.ප. උපාලි රත්නකුමාර මහතා පරීක්‍ෂණ සිදුකරයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.