තලංගම නිවාඩු නිකේතනයට
පැමිණි නැවියා වතුර වළකට වැටී මියයයි


සුගත් ප්‍රේමතිලක - කඩුවෙල

තලංගම උතුර ප්‍රදේශයේ නිවාඩු නිකේතනයට පවුලේ ඥාතීන් සමග විවේක ගතකිරීමට පැමිණි නාවිකයකු ඊයේ (06 වැනිදා) (සීමන් කෙනකු) එහි පිටුපස වතුර පිරුණු වළකට වැටීමෙන් මරණයට පත්වී ඇත.

මෙසේ මියගොස්‌ ඇත්තේ එච්. බී. සුජිත් ධම්මික (43) නමැති දෙදරු පියෙකි. ඔහු නො. 1124/ ඒ සණස මාවත පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොහු රාත්‍රි කාලයේ වතුර වළේ වැටී සිටිනු දැක ඇති හෝටල් සේවකයකු පොල් කඩන කෙක්‌කක්‌ මගින් ඔහු ගොඩට ගෙන පොලිස්‌ හදිසි ඇමතුම් අංකය අමතා තලංගම රෝහල වෙත යෑවීමට කටයුතු කළත් ඒ වන විට ඔහු මියගොස්‌ සිට ඇත.

සිද්ධිය වූ ස්‌ථානයට පැමිණි තලංගම හදිසි මරණ පරීක්‍ෂිකා ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය තලංගම පොලිසිය සමග ආයතනයේ ඇති සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂා කළ අතර ඔහු බීමතින් ගොස්‌ වතුර වළට වැටෙන අයුරු එහි පටිගත වී තිබී ඇත.

සිරුර පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා යොමුකළ අතර තලංගම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.