මානසික රෝගීන්ට දෙන පෙති හා මත් පැන් බීලා
මිතුරන්ගේ ගැටුමේදී බෝතල් පහරක්‌ කා තරුණයෙක්‌ මරුට


අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

මානසික රෝගීන්ට ප්‍රතිකාර පිණිස ලබා දෙන ඖෂධ පෙති වර්ගයක්‌ හා මත්පැන් පානය කළ තරුණයන් කීප දෙනකු අතර ඇතිවූ බහින්බස්‌ වීමක්‌ දුරදිග යැමෙන් හටගත් ගැටුමකදී ඉකුත් 05 වැනිදා රාත්‍රි තරුණයෙකු විසින් අනුරාධපුර මිහිඳුපුර ප්‍රදේශයේදී හිස්‌ මත්පැන් බෝතල් දෙකක්‌ කඩා ඇනීම නිසා විසි එක්‌ හැවිරිදි තරුණයකු මරුමුවට පත්ව තවත් තරුණයකු බරපතළ තුවාල ලබා ඇත.

මෙම සිද්ධියෙන් අනුරාධපුර ඩී. එස්‌. සේනානායක මාවතේ පදිංචි ලංකා විදුලිබල මණ්‌ඩලයේ අනුරාධපුර, නෙළුම්කුලම උප මධ්‍යස්‌ථානයේ සේවයෙහි නියුතුව සිටි එම්. ජී. ඩබ්ලිව්. සුරේෂ් ශිවන්ත ආරියරත්න නමැති අය මරුමුවට පත්ව ඇත.

අනුරාධපුර, විඡේපුර, මලියදේව මාවතේ පදිංචි ඩී. ඩී. ළහිරු ගිම්හාන නමැති තරුණයා බරපතළ තුවාල ලබා ඇත.

මෙම ඝාතනයට සම්බන්ධ බව කියන අනුරාධපුර ජයසිරිපුර ප්‍රදේශයේ පදිංචි දහ අට හැවිරිදි තරුණයෙක්‌ අනුරාධපුර පොලිසිය විසින් (06 දා) අත්අඩංගුවට ගනු ලැබ ඇත.

පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර මහ නගර සභාව මගින් අනුරාධපුර ජයන්ති මාවතේ පවත්වා ගෙන යන පොසොන් සැණකෙළි භූමියේ විනෝද වීම සඳහා ගමන් කරන අතරතුර ඔවුන් මත්පැන් සහ මානසික රෝගීන් වෙත ලබා දෙන ඖෂධ පෙති පානය කරමින් සිටියදී එම තරුණයන් අතර රාත්‍රි 8.20 ට පමණ මෙම ගැටුම හටගෙන ඇති බව අනුරාධපුර පොලිසිය සිදුකළ පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු ඊයේ (07 දා) අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.