අත් ට්‍රැක්‌ටරයේ කිරි බවුසරය හැපී
කාන්තාවක්‌ හා කිරි දරුවෙක්‌ මරුට

තවත් 10 දෙනකුට තුවාල


අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

අනුරාධපුර, ආලංකුලම ප්‍රදේශයේදී ඊයේ (07 දා) අලුයම අත් ට්‍රැක්‌ටරයක පසුපස කොටසේ අධික වේගයෙන් ධාවනය කළ කිරි ප්‍රවාහනය කරන බවුසරයක්‌ ගැටීමෙන් සිදුවූ මාරක රිය අනතුරකින් පනස්‌හය හැවිරිදි කාන්තාවක්‌ සහ එක්‌ හැවිරිදි පිරිමි දරුවකු මියගොස්‌ තවත් දසදෙනෙක්‌ තුවාල ලැබූහ.

අනුරාධපුර නගරයේ පැවැත්වෙන පොසොන් සැණකෙළිය නරඹා ආපසු සිය නිවෙස්‌ බලා යමින් සිටි අනුරාධපුර, හිදොaගම, කළුආරච්චියාගම ප්‍රදේශයේ පදිංචි පිරිසක්‌ ගමන් ගත් අත් ට්‍රැක්‌ටරයක්‌ මෙසේ අනතුරට ලක්‌ව ඇත.

ඊයේ (7 දා) අලුයම 1.45 ට පමණ මෙම අනතුර සිදුවී තිබේ. මෙම අනතුරින් අනුරාධපුර හිදොaගම 12 ඇළ, කළුආරච්චියාගම පදිංචි රණාගේ සෝමාවතී සහ ඒ. ඇම්. දහන් නෙත්සර අධිකාරි නමැති දෙදෙනා මියගියහ. මේ අතර මෙම අනතුරින් කාන්තාවන් පස්‌දෙනකු සහ පිරිමි පුද්ගලයන් පස්‌දෙනකු තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බව අනුරාධපුර පොලිසිය පවසයි.

අනුරාධපුර - පාදෙණිය මාර්ගයේ ආලංකුලම ප්‍රදේශයේදී මාර්ගය අයිනේ බස්‌රථයක්‌ නවතා තිබී ඇති අතර එය පසුකර අත් ට්‍රැක්‌ටරය ඉදිරියට ධාවනය කිරීමට එහි රියෑදුරා උත්සාහ කරනවාත් සමගම අධික වේගයෙන් ධාවනය කළ යාපනයේ සිට කොළඹට කිරි ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික සමාගමකට අයත් බවුසරය අත්ට්‍රැක්‌ටරයේ පසුපස කොටසේ හැපීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

බවුසරයේ රියෑදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ (07 දා) අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.