සමෘද්ධිලාභීන්ගේ පැමිණිල්ලක්‌ නැතිව
බැසිල් අත්අඩංගුවට ගැනීම නීති විරෝධියි

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා

හිටපු ඇමැති බැසිල් ඇතුළු රාජ්‍ය නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සම් විභාගය

සරත් ධර්මසේන

හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ පොදු දේපළ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි කිසිදු වරදක්‌ කරල නැහැ. රජයේ දේපළ, සල්ලි වංචා කරල ඔහුගේ පුද්ගලික ප්‍රයෝජනයට අරගෙන නැහැ. දිවිනැඟුම සංවර්ධන බැංකුවල මුදල් දුන්නෙ සමෘද්ධිලාභීන්ට නිවාස අළුත්වැඩියා කරගන්න. ඒ දුන්න මුදල්වලින් කොටසක්‌ ආපසු ඉල්ලාගෙන සාක්‌කුවට දාගත්තෙ නැහැ. වංචාවක්‌ කළැයි සමෘද්ධිලාභීන්ගෙන් පැමිණිල්ලක්‌ නැහැ. ඒ නිසා පොදු දේපළ නීතිය යටතේ පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමත්, රඳවා ගැනීමත් නීති විරෝධී යෑයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉකුත් සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.

ඔහු එසේ පැවසුවේ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටිමිනි.

ඔහු සමඟ රක්‍ෂිත බාරයට පත් වූ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැඟුම හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ආර්. ඒ. කේ. රණවක ඇතුළු රාජ්‍ය නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගොනුකළ පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දීර්ඝ වශයෙන් කරුණු දැක්‌වූහ.

අගවිනිසුරු කේ. ශ්‍රීපවන්, ප්‍රියසාද් ඩෙප් සහ රෝහිණී මාරසිංහ යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම් විභාගය පැවැත්වේ.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මෙසේ ද කීය.

ඇමැති මණ්‌ඩලය ගත් තීරණයකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පිහිටුවනු ලැබුවේ පසුගිය රජය කාලයේ සිදු වූ බව කියන මහා පරිමාණ දූෂණ විමර්ශනය කිරීමටයි.

මෙය රාජපක්‍ෂලා ඉලක්‌ක කරගෙන දේශපාලන දඩයමකට කරපු වැඩක්‌ බව ඉන් පැහැදිලිව පේනවා.

බැසිල් රාජපක්‍ෂ මූල්‍ය අපරාධ ඒකකයට ගියේ 2015 අප්‍රේල් 22 දා පෙරවරු 11 ට. ප්‍රශ්න කරමිනුයි ප්‍රකාශ සටහන් කරගැනීම කළේ. අහපු ප්‍රශ්න කීපකට උත්තර දෙන්න අදාළ ලියකියවිලි බලන්න කල් ඉල්ලුවා. දුන්නෙ නැහැ. එවේලේම අත්අඩංගුවට ගත්තා.

ස්‌වාමීනි, එතැන් සිට එකින් එක දිස්‌වුණ ජවනිකා, සිදුවීම් හරිම අපූරුයි. ඒ පොලිස්‌ ඒකකයේ ලොක්‌කා (නියෝජ්‍ය පොලිස්‌පති) කඩුවෙල මහෙස්‌ත්‍රාත්වරයාට දුරකථනයෙන් කතා කරනවා. ඒ වෙලාවේ මහෙස්‌ත්‍රාත්වරයා හිටියේ ගෙදර. ඔහුට දැනුම් දෙනවා රාත්‍රි 7.00 ට ගේනවා ඉක්‌මනට මහෙස්‌ත්‍රාත් නිල කාමරයට යන්න කියලා. ඔහු හනික යනවා. නිල කාමරයට වී බලාගෙන ඉන්නවා. නමුත් බැසිල් ගේන්නේ රාත්‍රි නවයට. ඒ වන විටත් බන්ධනාගාර වාහනයක්‌ ඇවිත්. විශාල පිරිසක්‌ එතනට රොක්‌වෙලා. මාධ්‍යවේදීන් විශේෂයෙන් මාධ්‍ය ඡායාරූප ශිල්පීන් බැසිල් මහතා ගෙනා වාහනය වටකරගෙන. සාමාන්‍යයෙන් බන්ධනාගාර වාහනයක්‌ උසාවියට ගේන්නෙ සැකකරුවෙක්‌ රිමාන්ඩ් කරන්න නියෝග කළාට පසුවයි. බැසිල්ගේ නඩුව කැඳවනවා. ඔහුගේ නීතිඥවරු පැය ගණනාවක්‌ කරුණු දක්‌වා ඇප ඉල්ලනවා. උත්තරයක්‌ නොදී මහෙස්‌ත්‍රාත්වරයා නිල කාමරයට යනවා. පොලිස්‌ ලොක්‌කත් කාමරයට යනවා. ටික වෙලාවකට පසුව මහෙස්‌ත්‍රාත්වරයා ඇවිත් සිය අසුනේ වාඩි වෙනවා. ඇප ප්‍රතික්‍ෂේපයි. රාජපක්‍ෂ රිමාන්ඩ්. ඔහු හිර ගෙදරට යන්නේ රාත්‍රි 11 ට.

බැසිල්ට ප්‍රකාශය අවසන් කරන්න පොලිසිය ඉඩ දුන්නෙ නැහැ. ඊට වඩා පොලිසිය ඉක්‌මන් වුණේ ඔහු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන්න. බැසිල් රාජපක්‍ෂ අත්අඩංගුවට ගත්තෙ අධිකරණ නියෝගයකුත් නැතිවයි. මේ සිද්ධියේදී පොලිසිය හැසිරුණු ආකාරය අනුව පෙනී යන්නෙ කාගේ හෝ අවශ්‍යතාවයකට අනුව ක්‍රියා කර ඇති බවයි. මහෙස්‌ත්‍රාත්වරයා අපක්‍ෂපාත මනසකින් යුතුව තීන්දු තීරණ අරගෙන නැහැ.

මීළඟට කරුණු ඉදිරිපත් කළේ දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලිසබ්රි මහතායි.

දිවිනැඟුම සංවර්ධන බැංකුවල තියෙන්නෙ සමෘද්ධිලාභීන්ගෙ මුදල්. ඔවුන් එම බැංකුවල කොටස්‌කාරයෝ. ඒ සල්ලි අනිසි ලෙස පරිහරණය කළැයි කියන චෝදනාවටයි බැසිල් හා රජයේ උසස්‌ නිලධාරීන් අල්ලා හිර කරල තියෙන්නේ. සමෘද්ධිලාභීන්ට නිවස අළුත්වැඩියා කරගන්නට දිවිනැඟුම මුදල්වලින් ගෙව්වේ රු. 2500 යි. නමුත්a මේ රජයේ සමෘද්ධි ඇමැති සජිත් ප්‍රේමදාස රුපියල් ලක්‍ෂයක්‌ ගෙවනවා. ඒ මුදල ගෙවන්නෙ ඔහුගේ හිතවතුන්ට සහ එක්‌සත් ජාතික පාක්‍ෂිකයන්ට. මෙහෙම මුදල් දෙන්න ගියොත් සමෘද්ධි බැංකුව බංකොලොත් වෙයි. සමෘද්ධිලාභීන්ට විශාල පාඩුවක්‌ සිදුවන නිසා සමෘද්ධි නිලධාරීන්ගේ වෘත්තීය සමිතියක නියෝජිත පිරිසක්‌ පැමිණිල්ලක්‌ කරන්න මූල්‍ය අපරාධ පොලිස්‌ ඒකකයට යනවා. නමුත් පැමිණිල්ල භාරගත්තෙ නැහැ. එනිසා පැමිණිල්ල කඩදාසියක ලියා පොලිස්‌පතිටත් ඒ පොලිස්‌ ඒකකයටත් බාරදුන්නා. මාසයකටත් වැඩියි පරීක්‍ෂණයක්‌ නැහැ. පොලිස්‌ ඒකකයේ නිලධාරීන් කියන්නෙ පැමිණිල්ල අගමැති හා ඇමැති අනුකමිටුව හරහා නොලැබෙන පැමිණිලි බාරගන්නෙ නැහැ කියලයි. සමෘද්ධිලාභීන්ට රු. 2500 ක්‌ දුන්න කෙනා අද ඇතුළේ. හිරගෙදර. රුපියල් ලක්‍ෂයක්‌ දෙන කෙනා එළියේ. මේ රටේ නීතිය කාටත් සමානව ක්‍රියාත්මක වන්නේ නැහැ.

මේක දින 100 හදිසියට කළ වැඩක්‌. හිතාමතාම නීතිපතිවරයාත් අත්හැරලා මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාශය කරන පරීක්‍ෂණවලට නීතිපතිගෙන් උපදෙස්‌ ලබාගැනීමක්‌ නැහැ. අගමැති හා ඇමැතිවරු නම් කරන පුද්ගලයන් ගැන පමණයි පරීක්‍ෂණ පවත්වන්නේ. එනිසා පොලිසිය කරන පරීක්‍ෂණ මුල සිට අග දක්‌වාම නීතිවිරෝධියි.

පුද්ගලයෙක්‌ අත්අඩංගුවට ගත යුත්තේ ඔහු වරදක්‌ සිදුකර ඇති බව හොඳාකාරව වටහා ගැනීමෙන් පසුවයි. එසේ නැතිව සැකයට අත්අඩංගුවට අරන් පසුව සාක්‍ෂි සොයාගෙන නඩුවක්‌ දාන්න හිතාගෙන පුද්ගලයන් අත්අඩංගුවට ගන්න බැහැ. නීතිවිරෝධී අත්අඩංගුවට පත් නොවී ජීවත්වීමට රටේ සියලු ජනතාවට ඇති මූලික අයිතිය අපේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් තහවුරු කරල තියෙනවා.

වැඩිදුර විභාගය ජුනි 9 දාට කල් තැබිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.