මියන්මාරයෙන් වැඩම කරන ලද සර්වඥධාතු ප්‍රදර්ශනය දෙල්ගොඩ දී

ආරක්‌ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා විසින් එම සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය සඳහා විශේෂ මණ්‌ඩපයේ තැන්පත් කිරීමට රැගෙන ආ අයුරු.

දෙල්ගොඩ - ඩබ්ලිව්. ඩී. විතාන, වැලිවේරිය චන්න විඡේනාම හා වැලිවේරිය - ධම්මික නිමලසූරිය

මියන්මාරයේ සිට වැඩම කරන ලද බුදුරජාණන් වහන්සේගේ සර්වඥධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය දෙල්ගොඩ, නාරන්වල ගුණරත්න සම්බෝධි සෙවණ පරිශ්‍රයේදී පෙරේදා හා ඊයේ (06 හා 07) පැවැත්විණි.

එම සර්වඥධාතු වහන්සේලා අම්පාර, දීඝවාපි පුද බිමේ ප්‍රදර්ශනය කොට පෙරේදා 06 වැනිදා පස්‌වරු 1.00 ට දීඝවාපිය පුද බිමේ සිට විශේෂ හෙලිකොප්ටර් යානයකින් දෙල්ගොඩ මහජන ක්‍රීඩාංගණයට පස්‌වරු 2.00 ට පමණ වැඩම කරන ලදී.

කෘෂිකර්ම හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමැතිනි අනෝමා ගමගේ මහත්මිය හා නැගෙනහිර පළාත් සභාවේ විපක්‌ෂ නායක දයා ගමගේ මහතාද ඒ සමග පැමිණි පිරිස අතර වූහ.

ඉන්පසු දෙල්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ සිට අලංකාර අලි ඇතුන් සහිත රිය පෙරහැරකින් එම සර්වඥ ධාතුන් වහන්සේලා නාරන්වල ගුණරත්න සම්බෝධි සෙවණ පරිශ්‍රයට වැඩම කළහ.

එම රිය පෙරහැර ආරක්‌ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, ග්‍රාමීය ආර්ථික නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, කෘෂිකර්ම වාරිමාර්ග නියෝජ්‍ය ඇමැතිනි අනෝමා ගමගේ හා නැගෙනහිර පළාත් සභාවේ විපක්‌ෂ නායක දයා ගමගේ යන මහත්ම මහත්මීහු ද බුරුමයේ තානාපති හා ආර්යාවද එක්‌වූහ. එම සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම වන විට කොළඹ නව නුවර ප්‍රධාන මාර්ගය දෙපස බැතිමතුන් සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීමට එක්‌රොක්‌ වී සිටියහ.

එහිදී ආරක්‌ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා විසින් එම සර්වඥ ධාතුන් වහන්සේලා ගුණරත්න සම්බෝධි සෙවණ පරිශ්‍රයේ විශේෂ මණ්‌ඩපයක තැන්පත් කර මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරනු ලැබීය.

පසුව බැතිමතුන් විසින් එම සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගනින් පුද පූජාද පවත්වන ලදී.

එම සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීම සඳහා පෙරේදා 06 වැනිදා අලුයම සිට බැතිමතුන් පෙළගැසී සිටිනු දකින්නට ලැබිණි.

මෙම පරිශ්‍රයේ පිළිකා රෝගී දරුවන් හා වකුගඩු රෝගීන් වෙනුවෙන් ඉදිකරන ලද සෙනෙහසේ නවාතැන හී ප්‍රධාන මෙහෙයුම් කාර්යාල ගොඩනැගිල්ල ද ආරක්‌ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා විසින් විවෘත කිරීමෙන් පසුව එහි ඉදිකිරීමට යෝජිත පිළිකා වාට්‌ටු සංකීර්ණය සඳහා මුල්ගල් තැබිණි.

මියන්මාරයෙන් ශ්‍රී ලංකාවට වැඩම කළ මෙම සර්වඥ ධාතුන් වහන්සේලා මෙරට විහාරස්‌ථාන කීපයකම ප්‍රදර්ශනය කරන ලද අතර මෙම පරිශ්‍රයේ ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව නැවත එ රටට වැඩම කරවනු ලැබේ.

කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරාධිපති හා නාරන්වල ගුණරත්න සම්බෝධි සෙවණ අධිපති දරණාගම කුසල ධම්ම නාහිsමියන් විසින් එම සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය සංවිධානය කළ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි බැතිමත් දහස්‌ සංඛ්‍යාත ජනතාවක්‌ සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගනු ලැබූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.