මහමැතිවරණයේ ප්‍රතිඵලය කුමක්‌ වුවත්
ශ්‍රී.ල.නි.ප. ය හා එජාපය එක්‌වී ඉදිරියටත් ජාතික ආණ්‌ඩුවක්‌ හදනවා
විපක්‍ෂ නායක දවල් හීන දකිනවා

- ඇමැති සජිත් ප්‍රේමදාස


ඉදිරි මහා මැතිවරණයේ කවර ප්‍රතිඵලය ලැබුණත් මෙරට පාලනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා එක්‌සත් ජාතික පක්‍ෂය එකට එකතුවුණු ජාතික ආණ්‌ඩුවක්‌ බවත් එය ජනතා අපේක්‌ෂා මෙන්ම ජනාධිපති හා අගමැති ජනතාවට දුන් පොරොන්දුවක්‌ බවත් එසේ තිබියදී විපක්‍ෂ නායක නිමල් සිsරිපාල ද සිල්වා මහතා දවල් හීන දකිමින් සිටින්නේ යෑයි නිවාස සහ සමෘද්ධි ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ගල්වැව සහ බැල්ලගස්‌වැව ග්‍රාම නිලධාරී වසම්වල නළ මාර්ගික පානීය ජල සම්පාදන ව්‍යාපෘති ජනතා අයිතියට පැවරීම සඳහා පෙරේදා 6 වැනිදා ගල්නෑව ග්‍රාමයේ පැවැති ජනහමුවේදී නිවාස හා සමෘද්ධි ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මේ බව පළ කළේය.

එහිදී ප්‍රේමදාස මහතා මෙසේ ද කීය.

යහපාලන රජයේ ජනතා හිතවාදී වැඩපිළිවෙළ යටතේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට දැවැන්ත වැඩපිළිවෙළක්‌ දියත් කිරීමට අපට අද හැකිවී තිබෙනවා. දිස්‌ත්‍රික්‌කයේ ප්‍රදේශ ගණනාවකම ජනතාව දිගු කාලයක්‌ මුළුල්ලේ පිරිසිදු පානීය ජලය සපයා ගැනීමේ දුෂ්කරතාවෙන් පෙළුණු බව නොරහසක්‌. ඉකුත් පාලන සමයේදී ජනතාවට සෘජු ප්‍රතිලාභ නොලැබෙන මහා පරිමාණ ව්‍යාපෘති වෙනුවෙන් මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනක්‌ නැති නාස්‌ති කළත්, ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමට කටයුතු නොකළ නිසා විශාල අසාධාරණයක්‌ සිදුවුණා. අද අප සංවර්ධනයේදී ඉහළම ප්‍රමුඛතාව ලබා දෙන්නේ ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමටයි.

දින සියයේ වැඩපිළිවෙළට යටත්ව මේ ප්‍රදේශයේ ජනතාවට නළ මගින් පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙළක්‌ පිළිබඳ අවධානය යොමු කර ජල සම්පාදන අංශයේ නිලධාරීන්ට මා උපදෙස්‌ දුන්නේ ප්‍රමුඛතාව හිමිකර දිය යුතු ලේඛණයක්‌ සකස්‌ කර දෙන ලෙසයි. ඒ අනුව නළ ජලය ලබාදීම සඳහා යෝජනා ක්‍රම 151 ක ලේඛනයක්‌ මට ලැබුණා. ඒවායින් බොහෝමයක්‌ කලින් පැවැති නළ ජල පද්ධතිවල දීර්ඝ කීරීම්, මේවායින් පවුල් 1400 ක්‌ පමණ ප්‍රතිලාභ ලබනවා. යෝජනා ක්‍රම 151 ක්‌ සඳහා වියදම රුපියල් 55,300,000/} (මිලියන 55.3 ක්‌) ලෙස සටහන් වුණා. මේ වනවිට පිරිසුදු පානීය ජලය ලබා දීමට අදාළ ජල නළ එළීමේ කටයුතු වෙනුවෙන් එම මුදල ලබාදී අවසන්.

ඉදිරි මහ මැතිවරණයෙන් පසුවත් මේ රටේ ක්‍රියාත්මක වන්නේ ජාතික ආණ්‌ඩුවක්‌ බව මා පසුගියදා ප්‍රකාශ කළා. ජනවාරි මස 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් වත්මන් ජනාධිපතිතුමා ඊට පෙර එනම්, ජනාධිපතිවරණය සමයේ වේදිකාවක්‌ පාසා ඔහුගේ ප්‍රතිපත්ති පැහැදිලිවම ප්‍රකාශ කළා. එදා ඔහු පුන පුනා සඳහන් කළේ එළැඹෙන මහ මැතිවරණයේ ප්‍රතිඵලය කුමක්‌ වුවත් ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකෙන් සමන්විත ජාතික ආණ්‌ඩුවක්‌ වසර 2 ක කාලයක්‌ තුළ ක්‍රියාත්මක කරන බවයි. වත්මන් අගමැතිත් ප්‍රකාශ කළේ එයයි. අපද මැතිවරණ වේදිකාවේදී කීවේ එයමයි. එයයි, වත්මන් රජයේ ප්‍රතිපත්තිය.

වත්මන් රජයේ ප්‍රතිපත්තිය අභියෝගයට ලක්‌ කරමින් අද වත්මන් විපක්‍ෂ නායකවරයා ප්‍රකාශ කරන්නේ එවැනි 'ජාතික ආණ්‌ඩුවක්‌' පිළිබඳ ගිවිසුමක්‌ නැති බව හා එවැනි ගිවිසුමක්‌ ඇත්නම් රටට හෙළි කරන ලෙසයි. මේ කරුණු කාරණා පිළිබඳව නිමල් සිරිපාල ද සිල්වා විපක්‍ෂ නායකතුමාට අවබෝධයක්‌ නැතිවීම ගැන මා පුදුමයට පත්වන්නේ නැහැ. මන්ද ඔහු තවදුරටත් සිටින්නේ ජනාධිපතිවරණයෙන් පැරදුනු කණ්‌ඩායමේ නිසයි. නැග්ගේ මහින්ද රාජපක්‍ෂගේ වේදිකාවටයි. මහින්ද රාජපක්‍ෂගේ වේදිකාවේ 'ජාතික ආණ්‌ඩුවක්‌' පිළිබඳ කථා නොකළ බව ඇත්ත. අද නිමල් සිරිපාලද සිල්වාට පොට වැරදි තිබෙන බව පැහැදිලියි. ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්‍ෂ නොව මෛත්‍රීපාල සිරිසේන බව ඔහුට අමතක වෙලා. නිමල් සිරිපාලද සිල්වා පසුගියදා ඉතා උනන්දුවෙන් ටේලර් මහතෙකු හමුවී අලුත් ඇඳුම් කට්‌ටලයක්‌ මසාගෙන අගමැති පුටුවේ වාඩිවීමට බලා සිටිනවා. තවමත් සිටින්නේ ජනාධිපතිවරණයේදී ජනතාව ප්‍රතික්‌ෂේප කළ කණ්‌ඩායමේ බව මා සිsහිපත් කර දෙන්නට කැමැතියි. රටේ ලක්‍ෂ 62 ක බහුතර ජනතාව එදා කීවේ රටට අලුත් මුහුණක්‌ ඕනෑ. වෙනසක්‌ ඕනෑ. යහපාලනයක්‌ මෙන්ම ජාතික ආණ්‌ඩුවක්‌ ඕනෑ කියායි. ජනතාව කීවේ රටේ ප්‍රධාන පක්‍ෂ දෙක දේශපාලන විවාහයක්‌ කරගෙන රට ඉදිරියට රැගෙන යා යුතු බවයි.

නිමල් සිරිපාල ද සිල්වා මේ දිනවල දවල් සිහින දකින්නේ අගමැති පුටුවට යැමටයි. රටේ න්‍යාය පත්‍රයේ ඉහළින්ම තිබිය යුත්තේ ඔහු අගමැති පුටුවට පත් කිරීම නොව ජනතාවට සහන ලබාදී නැවතත් ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමයි. නිවාස, සමෘද්ධි සහනාධාරය නොමිලයේ සෞඛ්‍ය සේවාව හා නිදහස්‌ අධ්‍යාපනය තහවුරු කර දූෂණයෙන්. වංචාවෙන් හා රාජ්‍ය ත්‍රස්‌තවාදයෙන් තොර සැනසිලිදායක යුගයක්‌ රටට උදාකරලීමයි. රටේ ජනතාව ඉල්ලන්නේත්, රටේ හා ජාතියේ ප්‍රමුඛතා ලැයිස්‌තුවේ ඉහළින්ම තිබිය යුත්තේද එයයි. ජාතික ආණ්‌ඩු සංකල්පයත් සමඟ නිමල් සිරිපාලද සිල්වා බොහෝ සෙයින් කලබලයට පත්ව සිටිනවා.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.