විස්‌ස සම්මත නොකර
පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් ජනතාව සමග පාරට බහිනවා


ජාතික පවුර සංවිධානයේ සම කැඳවුම්කරු නීතිඥ මෛත්‍රී ගුණරත්න

ගාල්ල - එස්‌. කේ. කළුතආරච්චි, ලලිත් චාමින්ද

විසිවැනි සංශෝධනය සම්මත කර ගැනීමෙන් තොරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළහොත් ඊට එරෙහිව ජනතාව පාරට බැසීමට සූදානම් යයි ජාතික පවුර සංවිධානයේ සම කැඳවුම්කරු නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ඒ මහතා මේ අදහස්‌ පැවසුවේ පෙරේදා ගාල්ල කතළුවේදී පැවැති මාධ්‍ය හමුවක්‌ අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මෙසේද පැවැසීය.

බොහෝ දේශපාලන පක්‌ෂ අද පාර්ලිමේන්තුව විසුරුවයි හෙට පාර්ලිමේන්තුව විසුරුවයි කියලා ඡන්දයකට ලෑස්‌ති වෙලයි දැන් ඉන්නේ. නමුත් දැනට ඡන්දයක්‌ එන්නේ නැහැ.

හේතුව තමයි ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දු දෙකක්‌ දුන්නා. එකක්‌ තමයි ජනාධිපති ධුරයේ බලතල අඩු කිරීම. ඒක දහනවවැනි සංශෝධනයෙන් කරල ඉවරයි. ඊට පස්‌සේ ඡන්ද ක්‍රමය වෙනස්‌ කරනවා කියල ජනතාවට පොරොන්දුවක්‌ දීල තියෙනවා.

විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වෙලා ඡන්දයක්‌ පවත්වන්න අවස්‌ථාව ලැබෙනකම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැතැයි කියන එක පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි. එහෙම විසුරුවා හරින්න අපි ඉඩ තියන්නෙත් නෑ. අපි ඒ සම්බන්ධයෙන් ජනතාව පාරට බස්‌සන්න සූදානම්.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ රටට යහපාලනය හඳුන්වා දෙනව කියපු ජනාධිපතිවරයෙකි. එතුමගේ පොරොන්දු වලින් කරන්න පුළුවන් සෑම සියලු පොරොන්දුවක්‌ම එතුමා ඉටුකර තිබෙනවා. දින සීය දින දෙසිය දින තුන්සීයක්‌ ගියත් ප්‍රශ්නයක්‌ නෑ. මේ දූෂිත, ජනතාවට එපා වෙච්ච ඡන්ද ක්‍රමය අහෝසි නොකර ඡන්දයකට යන එකේ කිසිම තේරුමක්‌ නෑ. ඒ නිසා එක්‌සත් ජාතික පක්‌ෂයේ නායක වරුන්ට අපි කියනවා කකුලෙන් අදින්න එපා. මුස්‌ලිම් කොංග්‍රස්‌ එකේ නායකතුමාට අපි කියනවා එක්‌සත් ජාතික පක්‌ෂයේ කීම් අහල කකුලෙන් අදින්න එපා කියලා.

විසිවැනි සංශෝධනයට අත උස්‌සල ඡන්දය දෙන්න. මේකෙන් කාටවත් අවාසියක්‌ වන්නේ නැහැ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.