දළදා මාලිගාවේ දිය වඩන නිලමේ තරගයට තුන්කොන් සටනක්‌

සිරිල් විමලසුරේන්ද්‍ර

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නව දියවඩන නිලමේ තෝරාපත් කර ගැනීම සඳහා පැවැත්වෙන තරගයට අපේක්‌ෂකයකු ලෙස තමාද ඉදිරිපත් වන බව මහනුවර ශ්‍රී මහා නාථ දේවාලයේ වත්මන් බස්‌නායක නිලමේ නීතිඥ ගයාන් හෂිල හීන්කෙන්ද මහතා පැවැසීය.

බස්‌නායක නිලමේ නීතිඥ හීන්කෙන්ද මහතාගේ ඉදිරිපත් වීමත් සමග දියවඩන නිලමේ තෝරාපත් කර ගැනීමේ තරගයේදී තුන්කොන් සටනක්‌ බවට නිර්මාණය වී තිබේ.

වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සහ හිටපු දියවඩන නිලමේ නෙරංජන් ප්‍රියදර්ශන දුල්ලෑව විජයරත්න මහතාද මේ පදවිය අපේක්‍ෂා කරති.

ලබන ජුලි මස පළමු වැනිදා වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතාගේ නිල කාලය අවසන් වන බැවින් ඉන් පසුව තෙමසක්‌ ඇතුළතදී පැවැත්වෙන නව නිලමේ තෝරාපත් කරගැනීමේදී අපේක්‌ෂකයකු ලෙස තමා ඉදිරිපත් වන බව ගයාන් හෂිල හීන්කෙන්ද මහතා මාධ්‍යට පැවැසීය. මහනුවර ප්‍රධාන සිව් දේවාලයන් සතරට ඇතුළත්වන ශ්‍රී මහා නාථ දේවාලයේ බස්‌නායක නිලමේ පදවිය දරන හීන්කෙන්ද මහතා ගඩලාදෙනිය ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ බස්‌නායක නිලමේ පදවියද දරයි. වෘත්තියෙන් නීතිඥයකු වන ගයාන් හීන්කෙන්ද මහතා වසර 15 කට අධික කාලයක්‌ විවිධ දේවාලයන්හි බස්‌නායක නිලමේ පදවිය දරා සිටි.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා නීති විද්‍යාලයෙන් නීති උපාධිය ලබා ගත් ගයාන් හීන්කෙන්ද මහතා දේවාලයන් කීපයකම වසර ගණනාවක්‌ බස්‌නායක නිලමේ පදවිය දරන්නට යෙදුණු ශ්‍රී මහා නාථ දේවාලයේ හිටපු බස්‌නායක නිලමේ ආනන්ද හීන්කෙන්ද මහතාගේ පුත්‍රයායි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.