'කරුණාකරලා පාර්ලිමේන්තුව විසුරුවන්න'
මහින්ද සමඟ සටනට මා සූදානම්

අගමැති රනිල් වික්‍රමසිංහ නිකවැරටියේදී කියයි


අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රැස්‌ව සිටි පිරිස ඇමතූ අයුරු...

"අපට කිසිදු ප්‍රශ්නයක්‌ නැහැ. කරුණාකරලා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා ඉල්ලීමක්‌ කරන්න අප බලාපොරොත්තු වෙනවා. මහින්ද රාජපක්‍ෂ සමඟ තරග කරන්න මම සූදානම්" යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07 වැනිදා) නිකවැරටියේදී පැවැති එජාප ක්‍රියාකාරී හමුවකදී පැවසීය.

එහිදී අදහස්‌ දැක්‌වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

මැතිවරණයෙන් හා සිංහල අවුරුද්දෙන් පසුව මම නිකවැරටියට පැමිණෙන බවට පොරොන්දු වුණා. එහෙත් අසනීප තත්ත්වයෙන් පසුවුණ නිසා මට ඒ සඳහා හැකියාවක්‌ ලැබුණේ නැහැ. මට මෙහි පැමිණීමට නොහැකි වූවාට රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යතුමා පැමිණ ගීත ගායනා කරලත් ගියා. එදා මම පැමිණියා නම් මට සිංදු කියන්න බැහැ. ඒ නිසා එතුමාගේ පැමිණීම මගේ පැමිණීමට වැඩිය කාලෝචිත බව ප්‍රකාශ කරන්න කැමතියි. කෙසේ වුවත් මගේ නොපැමිණීම පිළිබඳව මා ඔබගෙන් සමාව අයදිනවා. කෙසේ වෙතත් මැතිවරණයට කලින් මෙහි ජනතාව හමුවෙලා ඔවුන් අමතන්න එන බව මා තෙන්නකෝන් මහතා හට දන්වා සිටියා.

විශේෂයෙන්ම මා මෙහි පැමිණියේ ඔබ සැමට ස්‌තුති කිරීමටයි. මා මෙහි පැමිණෙන්නේ ජනතාවගේ අතට මුදල් ලැබුණයින් පසුව බව මා අකිල ඇමතිතුමාට ප්‍රකාශ කළා. ඒ අනුව දින 100 වැඩ සටහන යටතේ අපි ජනතාවගේ අතට මුදල් ලැබෙන විදියට කටයුතු කළ බව ප්‍රකාශ කරන්නට කැමතියි.

අපි ඉන්ධන මිල අඩුකළා. වී කිලෝවට රුපියල් 50ක්‌ ලබා දුන්නා. වී කිලෝව රුපියල් 40 දීලත් ඔවුනට හොඳ ලාභයක්‌ ලැබුණු බව සමහරුන් ප්‍රකාශ කළා. තවත් සමහරු ඒ වගේම රුපියල් 45 ට විකුණලා ලාභ ලබාගත්තා. අපි රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කළා. එසේම දැන් පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම සිදුකොට තිබෙනවා. අපි තේ වලට සහනාධාර ලබාදුන්නා. එලෙසින්ම රබර්වලට දැනට සහනාධාර ලබා දී ගෙන යනවා.

අපි ජනතාවට ලබාදුන් විවිධ සහන හේතුකොට ගෙන අද මේ රටේ ජනතාවගේ අතේ මුදල් ගැවසෙනවා. පසුගිය සිංහල අවුරුදු සමයේ මේ ප්‍රදේශවල මුදල් පරිහරණය වැඩි වුණා. පාරිභෝගික භාණ්‌ඩ මිලදී ගැනීමට දිග පෝලිම් දකින්නට ලැබුණා. රාජපක්‍ෂ පාලන සමයේ වෙළඳපොළ කඩා වැටෙනු ඇතැයි බියක්‌ ඇතිවුණා. රාජපක්‍ෂ රෙජිමය වෙළඳපොළ දිහා බැලුවේ නැහැ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සිංහල වාණිජ මණ්‌ඩලයේ සභාපතිකම දැරුවත් වෙළඳපොළ කෙරෙහි අවධානය යොමු කළේ නැහැ. ජනතාව පීඩාවට පත් කළා. අපි මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති පදවියට පත්කොට දින 100 ක්‌ ඇතුළත මේ කටයුතු ඉෂ්ට කරන බවට ඔබතුමන්ලාට දන්වා සිටියේ එවැනි වාතාවරණයක්‌ යටතේයි. අප දැන් දින 100 ඇතුළත මේ වන විට වැඩ කටයුතු රාශියක්‌ අවසන් කොට තිබෙනවා.

අපි 19 වන සංශෝධනය ඉතා අමාරුවෙන් සම්මත කර ගත්තා. එම කාර්යභාරයේදී කලින් සහයෝගය දෙන බව ප්‍රකාශ කළ කණ්‌ඩායම් පසුව ජනාධිපතිතුමාගේත් මගේත් කකුලෙන් අදින්න පටන්ගත්තා. කෙසේ හෝ අපි ඒ කටයුත්තෙන් ජය ගත්තා. ඒ වගේම ඉදිරියේදීත් අපට විශාල වැඩ කොටසක්‌ ඉටුකිරීමට තිබෙනවා. මේවා කෙටි කාලීන වැඩසටහන් වන අතර දීර්ඝකාලීන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. මේ තරුණ තරුණියන්ට හොඳ රැකියා ලබාදිය යුතුව තිබෙනවා. ඊළඟ අවුරුදු 05 ඇතුළත රැකියා ලක්‌ෂ 10 ක්‌ ලබාදීමේ වැඩසටහනක්‌ ක්‍රියාත්මක කිරීමට අප දැනටමත් සැලසුම් කොට තිබෙනවා.

හොඳ රැකියා අවස්‌ථා බිහිකිරීමට පියවර ගත යුතුව තිබෙනවා.

හොඳ රැකියාවන් ලබාදීමට නම් ප්‍රදේශයේ දූ දරුවන් හට හොඳ අධ්‍යාපනයක්‌ද තිබිය යුතුයි. මම ඒ කාර්යභාරය අධ්‍යාපන ඇමතිවරයාට භාරදී තිබෙනවා. කුලියාපිටියේ ඊරියගොල්ල මැතිතුමාත් ලයනල් ජයතිලක මැතිතුමාත්, කටයුතු කොට තිබෙනවා. දැන් ඒ වැඩ කටයුතු කරගෙන යාම සඳහා අපි අකිල ඇමතිතුමාව පත්කොට තිබෙනවා. මේ ප්‍රදේශයේ විශාල සංවර්ධනයක්‌ ඇතිකිරීම අපගේ අපේක්‍ෂාවයි. කර්මාන්තශාලා, හෝටල් ආරම්භ කොට මේ තරුණ තරුණියන්ට රුපියල් හතලිස්‌දාහේ, පනස්‌දාහේ වැටුප් ලබාගැනීමට ඉඩකඩ ලබාදීම පමණක්‌ නොව වර්තමානයේ මෙහි ජනතාවට අතට වැඩි මුදලක්‌ ලබාදීමට කටයුතු කිරීම අපගේ කාර්යභාරය බව මා මෙහිදී සඳහන් කළ යුතුයි.

මේ පාර්ලිමේන්තුවෙන් පසුව එළඹෙන අලුත් පාර්ලිමේන්තුවේදී ඒ සංවර්ධන ක්‍රියාදාමය ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි පසුගිය ජනාධිපතිවරණයේදී නව ක්‍රමවේදයක්‌ ක්‍රියාත්මක කරන බවට ජනතාවට ප්‍රතිඥා දුන්නා. ඒ කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති පදවියට පත්කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටියා. ජනතාව අපට ඒ වරම ලබාදුන්නා. දැන් එතුමා යටතේ අපි දින 100 ක්‍රියාත්මක කොට තිබෙනවා. දින 100 ක්‌ ඇතුළත මෙපමණ වැඩ කටයුතු කළ වෙනත් රජයක්‌ තිබුණා දැයි මම ප්‍රශ්න කරන්න කැමතියි.

19 වැනි සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසුව දින 100 න් අනතුරුව නව ඡන්ද ක්‍රමයක්‌ ඇතිකිරීම පිණිස 20 වෙනි සංශෝධනය සම්මත කර ගතයුතු බව ජනාධිපතිතුමා මා සමඟ ප්‍රකාශ කළා. විශේෂයෙන්ම එම ඉල්ලීම කළේ අප නොවේ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයයි. එම ඉල්ලීමට අප එකඟ වූයේ ජනාධිපතිතුමා ප්‍රකාශ කළ නිසයි. හැමදෙනාම තමන්ගේ පැවැත්ම දිහා බලන නිසා දේශපාලන පක්‍ෂ සියල්ලම අලුත් මැතිවරණ ක්‍රමයකට එකඟ කරවා ගැනීම පහසු කාර්යයක්‌ නොවෙයි.

මට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙනවිත් මා පරාජය කොට සන්ධාන ආණ්‌ඩුවක්‌ පිහිටුවන බවට දිනේශ් ගුණවර්ධන, මහාචාර්ය ජී. එල්. පීරිස්‌, බන්දුල ගුණවර්ධන, ඩලස්‌ අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරනවා. මට එකක්‌ කිව හැකියි. එනම් මා පසුපස දොරෙන් නොව ඉදිරිපස දොරෙන් පැමිණි කෙනෙක්‌ බවයි. මම දේශපාලනයෙන් සමුගන්නා දිනයේදී ඉදිරිපස දොරෙන් පිට වී විශ්‍රාම ගන්නා බව ද කිව යුතුයි. බන්දුල ගුණවර්ධන සහ ජී. එල්. පීරිස්‌ යන මන්ත්‍රිවරුන් පැමිණියේ පිටුපස දොරෙන් නොව කැරකෙන දොරකින්. ආණ්‌ඩුව මාරු වෙන්න මාරු වෙන්න ඒ දොර කැරකෙනවා. ඒ අන්දමට කැරකෙන දොරෙන් එන අය මං ගැන කොහොමද කියන්නේ?

2010 මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා එතුමාට සහයෝගය දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලුවා. ජනතාව එම වරම ලබාදුන්නා. නමුත් ජනවාරි 08 වනදා ඒ ජනතාවම මහින්ද රාජපක්‍ෂව පරාජය කොට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කරවනු ලැබුවා. රටේ ජනතාව එදා පාර්ලිමේන්තුවේ එයාගේ ප්ලග් එක ගැලෙව්වා.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කරවීමටත්, රනිල් වික්‍රමසිංහ අගමැති කරවීමටත් ජනවරමක්‌ ලබා දෙන ලෙස, අපේ දින 100 වැඩසටහනේ සඳහන් කොට තිබුණා. ජනතාව ඊට වරමක්‌ ලබා දුන්නා. අපි ජනවාරි 10 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා නම් අද සන්ධානයක්‌ නැහැ. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ පින්තූරේ ඉදිරිපිට මල්, පහන් පූජා කරන ලෙස ජනාධිපතිතුමාට විරුද්ධව කෑ ගහන සන්ධානේ මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටින්නට කැමතියි. අඩු තරමින් ජුනි මාසේ වෙනකම්වත් ඉන්නට හැකිවීම පිළිබඳව ඔවුන් ජනාධිපතිතුමාට එසේ වැඳුම් පිඳුම් කළ යුතුයි.

ඒ මන්ත්‍රි කණ්‌ඩායම දැන් කියනවා ඒ ගොල්ලන්ට බලය ගන්න ඕන කියලා. ඒ ගොල්ලන්ට බලය ගන්න බැහැ. අගමැති වීමට ජනතාව වරම දුන්නේ මටයි. මමත් එක්‌සත් ජාතික පක්‍ෂයේ සියලු දෙනාමත් දැන් ජනතාව ඉදිරියට ගොස්‌ ඒ වරම ස්‌ථිර කරන ලෙස ඉල්ලා සිටින්නට සූදානම්. ඒ පිරිස ඡන්දෙකට යාමට අකමැතියි. ඒකට බයයි. ඒ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ මැතිවරණයකට නොගොසින් බලය මාරු කිරීමටයි. දැන් ඔක්‌කොම හොරු ටික අහුවෙමින් පවතිනවා. හොරු අහුවෙන කොට නඩු පවරනවා. ඒකට ප්‍රශ්නයක්‌ නැහැ. නඩු පැවරීමට හැම දෙනාටම අයිතියක්‌ තිබෙනවා. නමුත් ඒ ක්‍රියා මාර්ගයත් හරියන්නේ නැති බව දන්න නිසා ඔවුන් තවත් බය වෙලා. දැන් ඒ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ බලය ලබාගෙන මේ නඩු ටික ඉවත් කරගෙන නිලධාරීන් සියලු දෙනාම ගෙදර යවලා නැත්නම් අර උපුල් කිව්වා වගේ පොලිස්‌පතිතුමා ඇතුළු නිලධාරීන්ට ගල් ගහලා මරලා හොරුන්ගේ පාලනයක්‌ නැවත ඇති කිරීමයි.

මං හිතන්නේ දැන් ඔවුන් ජනතාවගෙන් හොරකම් කළා ඇති කියලා. මේ හොරුන්ට තව දුරටත් හොරකම් කිරීමට ඉඩ දෙනවාද? උපුල් මන්ත්‍රිවරයා කළ කතාවට මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිවරයාට පොලිසියෙන් සමාව ඉල්ලීමට යුතුකමක්‌ තිබෙනවා.

අපට කිසිම ප්‍රශ්නයක්‌ නැහැ. කරුණාකරලා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා ඉල්ලීමක්‌ කරන්න අප බලාපොරොත්තු වෙනවා. මහින්ද රාජපක්‍ෂ සමඟ තරග කරන්න මම සූදානම්. මහින්ද රාජපක්‍ෂ ප්‍රභාකරන්ට පින් සිදුවෙන්නට 2005 මැතිවරණයෙන් ජයග්‍රහණය කළා. අද ප්‍රභාකරන් නැහැ. කොටිත් නැහැ. මම එකක්‌ ප්‍රකාශ කරන්න කැමතියි. උතුරේ නොවෙයි. දකුණේ ඡන්දවලින් රජයක්‌ හදන්නට අපට පුළුවන් බව මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ මැතිවරණයෙන් පසු, මුළු පාර්ලිමේන්තුවම රජයක්‌ බවට පත්කිරීමට මට අවශ්‍යයි.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකයායි. දැන් මේ කණ්‌ඩායම්, කුමන්ත්‍රණය කරන්නේ එතුමාට විරුද්ධවයි. ජනවාරි මාසයේ තමාව බේරා දුන් නායකයා පාවා දෙන්නේ නම් මේ අය කෙබඳු අන්දමේ ෙද්‍රdaහීන් දැයි මම ප්‍රශ්න කරනවා. ජනතාවට, මේ අයට ඡන්දයක්‌ දෙන්නට පුළුවන්ද?

අපිට පාර්ලිමේන්තුවේ බලය ලබාදෙන්න. අපි වැඩ කටයුතු කරන්නම්. විශාල සංවර්ධන වැඩසටහන් අප වෙත තිබෙනවා. අපි අහස්‌ යානා නැති ගුවන් තොටුපළවල්, නැව් නොපැමිණෙන වරායවල්, ක්‍රිකට්‌ ක්‍රීඩකයන් නැති ක්‍රිඩාංගන, විදුලි බලය ලබාගැනීමට අපහසු විදුලි බලාගාර හදන්නේ නැති බවත්, පාරවල් හදලා කොමිස්‌ ලබා නොගන්නා අතරම කැසිනෝ සූදුව රටට ගෙනවිත් කැසිනෝ ව්‍යාපාර ඇති නොකරන බවට ද මා මෙහිදී ඔබ සැමට පොරොන්දු වන බව කිව යුතුයි.

විශේෂයෙන් මා මෙහිදී තවත් යමක්‌ සිහිපත් කළ යුතුයි. මේ රටේ විශාලතම සංවර්ධන ව්‍යාපාර ඇතිකළේ ඡේ. ආර්. ජයවර්ධන යුගයේදීයි. එදා මහවැලි ව්‍යාපාරය ආරම්භ කළ අතර සිංහල රජ සමයේදීත් නොකළ අන්දමින් වැව් ප්‍රතිසංස්‌කරණය කොට ගොවිතැන සංවර්ධනය කළා. කෘෂිකර්මයට ඉඩම් වෙන්කළා. ශ්‍රී ජයවර්ධනපුර අගනුවර බවට පරිවර්තනය කළා. වෙළඳ කලාප, නිවාස යෝජනා ක්‍රම ඇතිකළා. අලුත් ව්‍යවස්‌ථාවක්‌ හඳුන්වා දෙනු ලැබුවා.

ඒ කළ වැඩ කොටසට වඩා දස ගුණයකින් අපට වැඩ කරන්නට පුළුවන්. ඒ සඳහා වැඩ කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක්‌ ඇතිකිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටත්, මටත් අවස්‌ථාව ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා.

මේ හොරු ටික ගෙදර යෑවිය යුතුයි. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ඔක්‌සිජන්වලින් ජීවත්වුණ මේ සන්ධාන මන්ත්‍රිවරුන්ගේ ඔක්‌සිජන් සැපයුම කපා දමන හැටියට මම ඉල්ලා සිටින්නට කැමතියි. හැම දෙනාටම යහපත සැලසිය හැකි නව පාර්ලිමේන්තුවක්‌ ඇතිකිරීමට අපි හැමදෙනාගේම සහාය අපේක්‍ෂා කරනවා. අපිට සහාය දෙන්න. අපි අභියෝගය බාරගන්න සූදානම්. අපි භය නැහැ.

අලුත් යුගයක්‌ බිහිකිරීම සඳහා ජනාධිපතිතුමාටත් මටත් අවශ්‍ය සහාය ලබාදෙන ලෙස නැවත වරක්‌ ඉල්ලා සිටිමින් මගේ කථාව අවසන් කරනවා.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.