රක්‌වාන පොතුපිටිය කුඩා තේ වතුහිමියන්ට ලක්‍ෂ 30 ක ආධාර

දිවයින පුරා විසිරී සිටින කුඩා තේවතු හිමියන් අතර පාංශු සහ ජල සංරක්‌ෂණ කටයුතු සඳහා අක්‌කරයකට රුපියල් 5000 බැගින් සහනාධාර ලබාදීමේ වැඩපිළිවෙළක්‌ රජය ක්‍රියාත්මක කරයි. ඒ හරහා රක්‌වාන පොතුපිටිය ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියන් 600 දෙනකුට එම සහනාධාර මුදල් සහ ප්‍රතිසංස්‌කරණය කරන ලද පොතුපිටිය කුඩා තේ වතු සංවර්ධන කාර්යාලය ජනතා අයිතියට පත්කිරීම රක්‌වාන පොතුපිටියේදී නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා අතින් සිදුවිය.

මෙරට කුඩා තේ වතු හිමියන් සංඛ්‍යාව හාර ලක්‍ෂයක්‌ පමණ වේ. ඉන් 92000 ක්‌ ම රත්නපුර දිස්‌ත්‍රික්‌කයට අයත් වේ. මෙරට තේ නිෂ්පාදනයට කුඩා තේ වතු හිමියන් හරහා වැඩිම අස්‌වනු ප්‍රමාණයක්‌ දායක කරන්නේ රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ කුඩා තේ වතු හිමියන් බව මෑතක සිදුකළ සමීක්‍ෂණයකින් හෙළිදරව් විය. කුඩා තේ වතු හිමියන් දිරි ගන්වමින් ඔවුන්ගේ වගා බිම් එක්‌ අක්‌කරයක පාංශු සහ ජල සංරක්‌ෂණය සඳහා රජය රුපියල් 5000 බැගින් සහනාධාර මුදලක්‌ ලබාදෙන අතර පොතුපිටිය කොට්‌ඨාසයේ කුඩා තේවතු හිමියන්ගේ සමිති දෙකකට අයත් 600 ක්‌ පමණ වන කුඩා තේවතු හිමියන්ට රුපියල් 2500 බැගින් වාරික මුදල් ලබාදීම 04 වැනිදා රක්‌වාන පොතුපිටිය විහාරස්‌ථ භූමියේදී සිදුකෙරුණි.

ඊට අමතරව දිගු කලක්‌ අබලන් තත්ත්වයේ පැවැති පොතුපිටිය කුඩා තේ වතු සංවර්ධන කොට්‌ඨාස කාර්යාලය මුළුමනින් අලුත්වැඩියා කිරීමෙන් පසු එය ජනතා අයිතියට පත්කිරීමද නියෝජ්‍ය ඇමැතිවරයා අතින් සිදුවිය. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 16 කි. මෙම අවස්‌ථාවන්ට කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති දීප්ති අබේවික්‍රම, රත්නපුර ප්‍රාදේශීය කළමනාකාර සුනිල් දිසානායක යන මහත්වරුද සහභාගි වූහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.