මගෙ සම්මාන සහතික ගිනි තිබ්බට පස්‌සේ
දේශපාලනය ගැන මම කලකිරුණා
- අනෝජා වීරසිංහ


ටක්‌ ටික්‌ ටුක්‌, මොණරතැන්න, චන්නයි කෙල්ලො දෙන්නයි. ආදී සරල විනෝදාස්‌වාදයෙන් පිරි ජනප්‍රිය රැල්ලේ චිත්‍රපට හතළිහක රඟපෑ ඇගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්‍ෂය බවට පත් වූයේ රංගනයෙන් දායක වූ හතළිස්‌ එක්‌වැනි චිත්‍රපටයයි.

සමාජ විෂමතාවට ගොදුරු වූ මවක හා දියණියක ලෙස ද්විත්ව චරිත නිරූපණයක යෙදෙමින් ඩී. බී. නිහාල්සිංහයන්ගේ මල්දෙණියේ සිමියොන් චිත්‍රපටයේ ඈ කළ රංගනය නවදිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේදී ලොව හොඳම නිළිය ලෙස රජත මයුර සම්මානයෙන් පුද ලබන්නට හේතු වාසනා ලැබුවාය. එදා 1987 දී අපේ රටට කීර්තිය ගෙන ආ මේ ගැහැනිය අනෝජා කාන්ති සිරිවර්ධනය. සිනමාවේදි අප කවුරුත් හඳුනන අනෝජා වීරසිංහය.

අනෝජා ඉන්පසු කලාත්මක චිත්‍රපට කිහිපයක රඟපෑවාය. සිරිමැදුර, කෙළිමඬල, සුරබිදෙන, ගුරුගෙදර හි රඟපෑ ඈ පෝල්කොක්‌ස්‌ නමැති ප්‍රකට විදේශීය චිත්‍රපටකරුවාගේ 'දි අයිලන්ඩ්' චිත්‍රපටයේද රංගනයේ නියෑළුණාය. ඒ වන විට ඈ ඇගේ නම රතී, මනප්පුවා සහ රන්සලකුණ යන වේදිකා නාට්‍යවලට ද රංගනයෙන් දායක කර තිබුණාය.

අනූහයේදී අනෝජා රංගනය පිළිබඳ වැඩිදුර හැදැරීමට එංගලන්තයේ 'ලම්ඩා' ආයතනයට ඇතුළුවන්නීය. උගෙනීමෙන් පසු යළි ලංකාවට ආ අනෝජාට උගත්කමින් ප්‍රයෝජනයක්‌ ගත හැකි චරිත රඟන්න චිත්‍රපට ලැබුණා ද යන්න ගැටලුවකි. ඒ වෙනුවට ඇය යළි වේදිකාවට ආවාය. ඒ ධර්මසිරි බණ්‌ඩාරනායකගේ ආරාධනාවෙනි. යූඊඩිපස්‌ ගී්‍රක නාට්‍යකරුවා විසින් රචිත නාට්‍යයක්‌ "ට්‍රෝජන් කාන්තාවෝ" නමින් ධර්මසිරි වේදිකාවට ගෙන ආවේය. අනෝජා එහි 'හෙකබි' නම් චරිතය රඟන්නීය. ට්‍රෝජන් කාන්තාවෝ මංගල දර්ශනය අනූනවයේ දෙසැම්බර් මාසයේදී රංගගත කෙරිණි. ඒ වන විට අනෝජා දේශපාලනික වශයෙන් විවිධ තර්ජන ගර්ජනවලට ලක්‌ව සිටි කාලයකි.

එවන් මර්දනකාරී පසුබිමක ඇරැඹි "ට්‍රෝජන් කාන්තාවන්ට" දැන් අවුරුදු දහසයකි. නාට්‍යය එදා සිට අද දක්‌වා රංගගත වේ. මෙම 18 වැනිදා ද ලයනල් වෙන්ට්‌ඩ් රඟහලේදී "ට්‍රෝජන් කාන්තාවෝ" වේදිකාගත වේ.

අනෝජා වීරසිංහ අද රංගනයෙන් දායක වන එකම නිර්මාණය "ට්‍රෝජන් කාන්තාවෝ" ය. ඒ පිළිබඳ එකල මුහුණ දුන් අත්දැකීම් පිළිබඳව ඈ කතා කළාය.

ඇයි ට්‍රෝජන් කාන්තාවෝ තවමත් රඟ දක්‌වන්නේ?

මේක සර්වකාලීන කතාවක්‌. අනෙක මගේ ජීවිතයේ සෛලවලට බද්ධ වුණු මහා පුදුමාකාර නාට්‍යයක්‌. මම කාලයක සිට රඟපෑමෙන් ඉවත්වෙලා ඉන්නේ. මෑතකදී නම් 'තන්හා රති රඟා' චිත්‍රපටයේ පොඩි චරිතයක්‌ රඟපෑවා. ඒ ඇරෙන්න මාව පණපිටින් දකින්න පුළුවන් එකම නිර්මාණය "ට්‍රෝජන් කාන්තාවෝ" මෙවර "ට්‍රෝජන් කාන්තාවෝ" ඉදිරිපත් කරන්නේ අපේම කටයුත්තක්‌ වෙනුවෙන්. ඒ අභින රංග කලා අධ්‍යයන ඇකඩමියේ ගොඩනැඟිල්ල හදන්න මුදල් සොයා ගන්නයි. ලැම්ඩා ඉඳලා ඇවිත් මම මේ රංගන ඇකඩමිය ආරම්භ කරන්න උත්සාහ කළා. දැනට වැඩමුළු මට්‌ටමින් පවත්වාගෙන යනවා බෙල්ලන්විල විහාරයට අයත් ගොඩනැඟිල්ලක. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හාමුදුරුවෝ, දායක මණ්‌ඩලය ඒ සඳහා ලබාදෙන සහය විශාලයි. පැවැති හැම රජයකින්ම උදව් ඉල්ලුවා. මගේ අවාසනාවට ප්‍රේමදාස මහත්තයා නැති වුණා. එතුමා හිටියා නම් මේ ඇකඩමිය හදලා ඉවරයි. අවංකවම කලාවට ආදරය කළා. කලාකරුවන් කී දේ තේරුම්ගත් එකම නායකයා එතුමා. අනෙක්‌ නායකයෝ කළේ කලාකරුවාට අත දෙනවා වෙනුවට කලාකරුවාගේ පිට උඩින් ඉහළට ගිය එකයි.

"ට්‍රෝජන් කාන්තාවෝ" සහ ඔබට එරෙහිව ආ තර්ජන අතරත් සබඳකමක්‌ තියෙනවද?

"ට්‍රෝජන් කාන්තාවෝ" සමග බලද්දී එහි රඟපෑ මගේ මොණරාගල නිවස සම්පූර්ණයෙන්ම ගිනිබත් කළා. ට්‍රෝජන් කාන්තාවන්ට සංගීතය සැපයූ රූකාන්තගේ සහ චන්ද්‍රලේඛාගේ කොණ්‌ඩා කපා දමා දරුණු හිංසාවන්ට ලක්‌ කළා. ඒක දෛවයේ සරදමක්‌ වගේ. අපිව මේ නාට්‍යයට තෝරා ගනිද්දී හිතුනෙ නෑනේ මගේ දේපළ විනාශ කරයි... රූකාන්තලාට හිංසා කරයි කියලා. හරි පුදුමාකාර නාට්‍යයක්‌. එදා ඉඳලා අද දක්‌වාම රඟපාන්නේ එකම කණ්‌ඩායම. යශෝධා, නිල්මිණි බුවනෙක, මීනා කුමාරි, ජීවනී, මම, නීල් අලස්‌ දෙදාහේ පෙබරවාරි මාසයේ නාට්‍ය ලයනල් වෙන්ඩ්ට්‌ පෙන්වන්න සූදානම. මට ජීවිත තර්ජන නිසා ඉන්දියාවේ ධර්මසිරි අයියා කතාකරලා ඇහුවා එනවද නාට්‍ය ට කියලා. මගේ දුව දිල්කි අඬනවා අම්මා එන්න එපා ලංකාවට ආවොත් අම්මව මරා දමාවි... මට ඉන්නේ අම්මා විතරනේ. කියලා. මට වුවමනායි එන්න. ධර්මසිරි අයියා කිව්වා ආරක්‍ෂා කරගන්නම් එන්න කියලා. මම ගුවන්තොටුපළට ආවා. එහි නිලධාරීන් මා වෙනුවෙන් මහන්සි වුණා. විනාඩි දහයක්‌වත් තියා ගත්තෙ නෑ. 'ඔයා යන්න අපි බෑග් එක එවන්නම්' කිව්වා. ධර්මසිරි අයියා කාර් එකේ සීට්‌ යට මාව නිදිකරවාගෙන ගෙනාවේ. ඉන් පස්‌සේ පුහුණුවීම්වලට ගියේත් එහෙමයි. නාට්‍යය පෙන්නුවොත් ලයනල් වෙන්ඩ්ට්‌ එකට බෝම්බ ගහනවා කියලා තර්ජන ආවා. මැරෙනව නම් හැමෝම එකට මැරෙමු කියලා කණ්‌ඩායමේ හැමදෙනාම නාට්‍යය පෙන්වන්න තීරණය කළා. අර්ජුන රණතුංග ඒ කාලේ ක්‍රිකට්‌ නායකයා. අක්‌කාට ජීවිත තර්ජන තියෙනව නම් අපේ ගෙදර ඇවිත් ඉන්න කියා මට කතා කරලා කිව්වා. නාට්‍ය පෙන්වන දවසේ හෝල් එක පිරිලා. හරිම පුදුමයි. අර්ජුනත්, රවී අයියත් (රවීන්ද්‍ර රන්දෙනිය) ඇවිත් හිටියා. දේශපාලකයා මොන තර්ජන දැම්මත් ජනතාව අප සමග ඉදිද්දි ශක්‌තියක්‌ ආවා. ඒත් වේදිකාවේ රඟපාද්දී මට වෙඩි තියන කෙනකුට ඉලක්‌කය ගන්න ලේසියි. මම තනිවම වේදිකාවේ කොනක විනාඩි දහයක්‌ විතර රඟපානවා. මට බයක්‌ දැනුණා දැන් වෙඩි තියයි කියලා. කමක්‌ නෑ මැරෙනවා නම් වේදිකාව උඩනේ. ඒක නිළියකට ලැබෙන වාසනාවක්‌ කියලා හිතලා රඟපෑවා. ඒ නිසයි "ට්‍රෝජන් කාන්තාවෝ" මට මේ තරම් වටින්නේ.

ඔතරම් පළිගන්න ඔබ කළ දේශපාලනය මොකක්‌ද?

අනූනවය මැතිවරණය එද්දි මම කිසිදාක දේශපාලනය කර තිබුණේ නෑ. ඒත් ජනප්‍රිය තලයේ සිටිද්දී ජාතික ලැයිස්‌තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන්නත් සූදානම් වුණා. ඒත් මම දේශපාලනය කරන්නේ කලාව තුළින් විතරයි කියලා ඒ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළා. සිනමාවට දේශපාලකයන් විසින් විවිධ දේ පොරොන්දු වෙනවා. කලාකරුවන්ව පාවිච්චි කරනවා බලයට එන්න. චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මැතිනිය දෙවැනි වරට ජනාධිපතිවරණයට ඉල්ලනවා. රවින්ද්‍ර රන්දෙනිය අපේ ලොකු අයියා. රවි අයියාත් එජාපයට සහාය දෙනවා. අපි කතා වුණා මෙවර වෙනසක්‌ සඳහා යා යුතුයි. පාලකයන් විසින් සිනමාවට කළ අහිතකර දේ බොරු පොරොන්දුවලට එරෙහිව නැගී සිටිමු කියලා. අපි එකතුවෙලා සිනමාව රැකගැනීම සඳහා දේශපාලනය කළා.

රැස්‌වීම් ඇමතුවා. මමත් රැස්‌වීම් කීපයක කතා කළා. ගම්පහදී කලාකරුවන්ට පහර දුන්නා. පසුගිය ජනාධිපතිවරණයේදී වගේම ලිප්ටන් වටරවුමේ අපි විරෝධතා කළා. පත්තරවල මගේ කතා උපුටා දැක්‌වුවා. මා කතා කළ දේ මිනිස්‌සු අතරට ගියා. ඡන්දෙ කිට්‌ටු වුණා. චන්ද්‍රිකා මැතිනිය බෝම්බයකට හසුවුණා. ඇය යළි ජනාධිපති වුණා. අපිට තර්ජන එන්න පටන් ගත්තා. තිත්ත කුණුහරුපෙන් ටෙලිෙµdaන් කළා. මරනවා කිව්වා. මම ඒ දවස්‌වල රෑට නිදාගත්තේ කලිසමකුයි ටී ෂර්ට්‌ එකකුයි ඇඳගෙන. කලාපුරයේ ගෙදර හදිසියක්‌ වුණොත් තාප්පෙට නැගලා අල්ලපු ගෙදර ඉන්න පී. වී. නන්දසිරි මහත්තයාගේ ගෙදරට පැනලා යන්න බලාගෙන. ගල්කිස්‌ස පොලිසියේ මූලස්‌ථානාධිපතිතුමා මගේ රසිකයෙක්‌. බය නැතුව නිදා ගන්න කියලා ගෙදරට ජංගම මුර සංචාර දැම්මා. අසල ගුවන් හමුදා කඳවුරේ ළමයි කිව්වා අක්‌කා බය වෙන්න එපා අපි ඉන්නවා" කියලා. ඒ නිසා අත්තිඩියේ මගේ ගෙදරට කිසිම හානියක්‌ කරන්න කිසිම කෙනකුට බැරි වුණා. මෙතරම් තර්ජන තිබිලත් මම උදව් කළ පක්‍ෂයේ නායකයෝ පොලු කෑල්ලක්‌ දීලා මගේ ආරක්‍ෂාවට හත්අට දෙනෙක්‌ එව්වේ නෑ. මට කොළ පාට, නිල් පාට එපා වුණා. සැමියෙක්‌ නැතිව තට්‌ට තනියම තරුණ ගෑනු ළමයෙක්‌ එක්‌ක මම අසරණවෙලා. දවසක්‌ මට ටෙලිෙµdaන් එකෙන් කුණුහරුප කියලා බණිද්දි මම ගෙදර වැඩ කරන කෙනෙක්‌ විදිහට කිව්වා නෝනා ගෙදර නෑ. මොණරාගල ගෙදරට ගිහින්. ඉන්න වෙලාවක කතා කරන්න කියලා. එයාලා හිතුවා මම ඇත්තටම මොණරාගල කියලා. එදාම රෑ මොණරාගල මගේ ගෙදරට ගිනි තියලා. මගේ සම්මාන සහතික, දේපළ හැම දේම ගිනිබත් කළා. මේ අපි දේශපාලනය කිරීමේ වරද.

දේශපාලනය ගැන කලකිරුණද?

ඇත්තටම එදා ඉඳලා මම කිසිම කෙනකුට ඡන්දෙ දුන්නෙ නෑ. මෙදා සැරේත් මම මෛත්‍රීපාල සිරිසේන මහත්තයටවත් ඡන්දෙ පාවිච්චි කළේ නෑ. ඒත් දැන් නම් මට දැනෙනවා තරමක නිදහසක්‌. ඒත් මෙයා අරයාට වඩා හොඳයි කියලා කතිරය ගහලා ඊළඟ අවුරුදු හයේදී දුක්‌වින්ද මට ආයෙත් ඒ වගේ කනගාටු වෙන්න ඕනෙ නෑ කියලා හිතෙනවා. හැබැයි මට ජනතා විමුක්‌ති පෙරමුණ කෙරෙහි යම්කිසි පැහැදීමක්‌ තියෙනවා. ඇත්තටම දැන් අපිට විශ්වාස කළ හැකි කණ්‌ඩායමක්‌. බයකුත් හිතෙනවා මේ වගේම අපි විශ්වාස කළ අයනේ අතීතයේත් හිටියේ. බලයට ආවාම වෙනස්‌ වෙනවා. ඒත් ඉතින් රටට ලොකු වෙනසක්‌ අවශ්‍යයි. ගෙම්බො වගේ එහාට මෙහාට පනින අයනෙ ඉන්නේ. මේ තරම් හොඳ රටක්‌ මෙහෙම විය යුතුද? ඡන්දයක්‌ ළඟ එනවා... මම මට ආදරය කරන මිනිසුන්ගෙන් ඉල්ලන්නේ හොඳට හිතලා මතලා හොරෙක්‌, වංචාකාරයෙක්‌, දූෂිතයෙක්‌ නොවන රටට ආදරය කරන අවංක කෙනකුට කතිරය ගහන්න කියලා.

අජිත් අලහකෝන්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.