ජනපතිගෙන් 'නිල්' එළියක්‌
මහින්ද සමග සන්ධානය දිනවීමට කමිටුවක්‌

කුෂාන් සුබසිංහ, දයා ලංකාපුර, අනුර බාලසූරිය සහ සමන් ගමගේ

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් සහ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඉදිරි මැතිවරණයේදී ශ්‍රීලනිප ප්‍රමුඛ එජනිස ජයග්‍රහණය කර ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ කටයුතු කරගෙන යාම සඳහා මන්ත්‍රීවරුන් 6 දෙනකුගෙන් යුත් කමිටුවක්‌ ඊයේ (16වැනිදා) පත් කර ගෙන ඇත.



ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පදනම් ආයතනයේදී ඊයේ පැවැති ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන නියෝජිතවරුන් සහ ඇමැතිවරුන්ගේ හමුවේදී මෙම තීරණය ගත් බව ශ්‍රීලනිප උප ලේකම් ඩිලාන් පෙරේරා මහතා "දිවයින" ට පැවසීය.

එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝන් සෙනෙවිරත්න, ශ්‍රීලනිප උප ලේකම් ඩිලාන් පෙරේරා, කුමාර වෙල්ගම සහ ටී. බී. ඒකනායක යන මන්ත්‍රීවරු එම කමිටුවට අයත් වෙති.

ශ්‍රීලනිප හෝ එජනිස කඩන්නේ නැතිව ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කරවීම මෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ සහ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකතු වී කටයුතු කළ යුතු බවද මෙම හමුවේදී දීර්ඝ වශයෙන් මන්ත්‍රීවරුන් පවසා තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම හමුවේදී ප්‍රධාන වශයෙන් ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීමට නම් සැවොම එකට එකතු වී කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දී ඇති අතර එමෙන්ම හිටපු ජනපතිවරයා කරළියට ගෙන ඒමට පවත්වන ජන රැලි පිළිබඳව ජනාධිපතිවරයා විවේචනාත්මක ස්‌වරූපයෙන් අදහස්‌ පළ කර තිබේ.

විශේෂයෙන් වෙනත් පුද්ගලයන්ගේ සහ පක්‍ෂවල අවශ්‍යතාවලට රැවටෙන්නේ නැතිව කටයුතු කර ගෙන යන ලෙසත් පසු ගිය ජනවාරි අට වැනිදා තමන් ජනාධිපති වී එදිනට පාර්ලිමේන්තුව විසුරුවේ නම් අද තිබෙන්නේ යූඑන්පී ආණ්‌ඩුවක්‌ බවත් ජනාධිපතිවරයා එහිදී කරුණු පැහැදිලි කර තිබේ.

පක්‍ෂය නොකැඩී ස්‌ථාවරව පවත්වා ගෙන ඉදිරි ජන්දය ජය ගැනීමට නම් මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහය පක්‍ෂයට අවශ්‍ය බවත් මහින්ද රාජපක්‍ෂ මහතා නොමැති වුවහොත් පක්‍ෂය කැඩී යාම වැළැක්‌වීමට නොහැකි බවත් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.

වෙල්ගම මහතාගේ අදහස ස්‌ථීර කරමින් එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ටී. බී. ඒකනායක යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම අදහස්‌ පළ කර ඇති අතර ඒ සඳහා කමිටුවක්‌ පත් කිරීමට පසුව තීරණය කර ඇත.

ආණ්‌ඩුවට එරෙහිව විපක්‍ෂය විසින් විශ්වාසභංග තුනක්‌ පමණ ගෙනවිත් තිබෙන බවත් ඒ කිසිවක්‌ විවාද කිරීම සඳහා මෙතෙක්‌ දින ලබාදී නොමැති බවත් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රීලනිපය ප්‍රමුඛ එජනිස ආණ්‌ඩුවෙන් ඉවත් වී මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂක ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අයුරුත් එහෙත් තමන් ඇතුළු පිරිස කවදාවත් ශ්‍රීලනිපය හැර නොයන බවත් වෙල්ගම මන්ත්‍රීවරයා එහිදී සිහිපත් කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ශ්‍රීලනිපයේ ප්‍රගතිය වෙනුවෙන් ඉතිහාසයේ විශාල කැපකිරීම් කර ඇති බවත් මහින්ද රාජපක්‌ෂ මහතා නැතිව තමන්ට ගමට යන්න නොහැකි බවත් රට සහ ජාතිය වෙනුවෙන් ඒ මහතා කර ඇති සේවය පිළිබඳව ද වෙල්ගම මහතා එහිදී අදහස්‌ ප්‍රකාශ කර තිබේ.

විශ්වාසභංග යෝජනාවලට මුල් තැන දීමට ගියහොත් විසි වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කර ගැනීමට තිබෙන අවස්‌ථාව ඇහිරී යැමට ඉඩ ඇති බවත් විශ්වාසභංගයට වඩා විස්‌සට ප්‍රමුඛතාවය දී කටයුතු කළ යුතු බවත් ජෝන් සෙනෙවිරත්න මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

ශ්‍රීලනිප ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන නියේජිතයින් 300 කට ආසන්න පිරිසක්‌ ජනපතිවරයාගේ මෙම හමුවට සහභාගී වූ බව වාර්තා වේ.

 
Powered By -


       උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
           223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.