එජාපය 20ට සහාය නොදෙන්නේ නම්
වහාම ආණ්‌ඩුව විසුරුවා හරින්න

- රතන හිමියෝ ජනපතිගෙන් ඉල්ලති

සිරිමන්ත රත්නසේකර

විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කර ගැනීමට එක්‌සත් ජාතික පක්‍ෂය සහාය නොදෙන්නේ නම් වහාම වත්මන් ආණ්‌ඩුව විසුරුවා හැර නව ආණ්‌ඩුවක්‌ පිහිටුවා සංශෝධනය සම්මත කර ගන්නා ලෙස පිවිතුරු හෙටක්‌ ජාතික සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ඊයේ (16 වැනිදා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියහ.

ජාතික අවශ්‍යතාවක්‌ වන මෙම විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කිරීමෙන් පසු ආණ්‌ඩුව විසුරුවා හැර මහ මැතිවරණයකට යා හැකි බවත් උන්වහන්සේ කියා සිටියහ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඕනෑම මොහොතක කළහැකි කාර්යයක්‌ බවත් පැවැසූ උන්වහන්සේ එහෙයින් කළ යුතුව ඇත්තේ ලෙහෙසියෙන් කළ හැකි දේ පසුවට කල් තබා අපහසු කාර්යය වන විසිවැනි සංශෝධනය කඩිනමින් සම්මත කර ගැනීම බවද සඳහන් කළහ.

පාර්ලිමේන්තුව වර්තමානය වනවිට මියගියවුන් සිහිකරන ස්‌ථානයක්‌ බවට පත්ව අයාලේ යන කාලය කා දමන දේශපාලන අම්බලමක්‌ වී ඇති බවට අතුරලියේ රතන හිමියෝ චෝදනා කළහ.

ආණ්‌ඩු වෙත ජනතාව තැබූ විශ්වාසයත්, රටේ ආර්ථික තත්ත්වයත් කඩා වැටී ඇතැයි කී උන්වහන්සේ ජනතාවට පොරොන්දු වූ ජාතික අවශ්‍යතාවන් ඉටු කිරීමට රජය වහා කටයුතු කළ යුතුව ඇති බව අවධාරණය කළහ.

අතුරලියේ රතන හිමියන් ඊයේ (16 වැනිදා) එම අදහස්‌ පළ කළේ කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.