ලසන්ත ඝාතකයන්ගේ බවට සැක දුරකථන අංක 20 ක්‌ සොයාගනී

හේමන්ත රන්දුණු සහ දීප්ති ප්‍රමිතා අධිකාරී

"සන්ඩේ ලීඩර්" කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයන්ගේ බවට සැක කරන ජංගම දුරකථන අංක 20 ක්‌ සොයාගෙන ඇත.

මෙම දුරකථන අංක හිමි පුද්ගලයන් සහ ඔවුන් පැවැත්වූ රහසිගත සාකච්ඡා පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමේ සහාය ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ගෙන තිබේ.

මේ අතර මෙම ජංගම දුරකථන ආනයනය කළ පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙස රේගු දෙපාර්තමේන්තුවටද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.

ලසන්ත වික්‍රමතුංග මහතා අබිරහස්‌ අන්දමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව මේ වනවිට වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය වී තිබෙන බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

එමෙන්ම මෙම ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණ කටයුතු මේ වනවිට ඉතාම ක්‍රමවත්ව කඩිනමින් ක්‍රියාත්මක කෙරෙන බවද ගුණසේකර මහතා වැඩිදුරටත් කීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.