ටෝනි දිවි සිනමාවෙන් සදහටම සමුගනී

අජිත් අලහකෝන්

සිනමාව, වේදිකාව සහ රූපවාහිනිය ඔස්‌සේ මතකයේ රැඳෙන චරිත රැසක්‌ ඉතිරි කරමින් ප්‍රවීණ රංගධර ටෝනි රණසිංහයන් ඊයේ (16 දා) අලුයම සදහටම සමුගත්තේය.

දින කිහිපයක සිට රෝගීව පසු වූ ටෝනි රණසිංහයන් කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 77 කි.

කොළඹ මෝදරදී 1937 ජුලි 31 දී උපත ලද ටෝනි රණසිංහ මෝදර ශාන්ත ජෝන් මිශ්‍ර පාසලෙන් සහ දලාසාල් ඉංගී්‍රසි පාසලෙන් අධ්‍යාපනය ලැබුවේය.

ඉංගී්‍රසි ලඝූ ලේඛකයකු ලෙස රජයේ සේවයට එක්‌වූ ටෝනි රණසිංහ ප්‍රථමවරට චිත්‍රපට කැමරාවක්‌ ඉදිරියේදී පෙනී සිටියේ 1957 දීය. ඒ සිරිසේන විමලවීරගේ පුංචම්මා චිත්‍රපටයේය. එහෙත් එම චිත්‍රපටය තිරගත වූයේ නැත.

අන්තර්ජාතික සම්මානයෙන් පුද ලද මෙරට ප්‍රථම චිත්‍රපටය වූ ආචාර්ය ලෙස්‌ටර් ෙ-ම්ස්‌ පීරිස්‌ගේ "ගම්පෙරළිය" ප්‍රධාන භූමිකාවක රඟමින් ටෝනි රණසිංහ සිනමා ප්‍රේක්‍ෂකයන් අතරට පළමුවරට ආවේය.

ධර්මසිරි වික්‍රමරත්නගේ "රන්තෝඩු" ඔහුගේ ප්‍රථම වේදිකා නාට්‍ය විය. පළමු රංගනයෙන්ම ආණ්‌ඩුකාරවරයාගේ සම්මානය දිනාගත් ඔහු පසුව 1962 දී සුගතපාල ද සිල්වාගේ "බෝඩිංකාරයෝ" නාට්‍යයේ රඟපෑවේය. තට්‌ටුගෙවල්, නිල් කටරොළු මල්, හරිම බඩු හයක්‌, විරූපරූප ඔහු රඟපෑ සෙසු වේදිකා නාට්‍ය වේ.

සැනසුම කොතැනද, දෙලොවක්‌ අතර, පරසතුමල්, රන්සළු, හන්තානේ කතාව, ගොපළු හඬ, දුහුළු මලක්‌, හුලවාලි, අහසින් පොළොවට, පරිත්‍යාගය, ගඟඅද්දර, මයුරිගේ කතාව, සාගරයක්‌ මැද, බාඳුරාමල්, සිසිල ගිනි ගනී, පවුරු වළලු, සප්ත කන්‍යා ඔහු රඟපෑ මතකයේ රැඳෙන චරිත ඇතුළත් චිත්‍රපටය.

"පවුරු වළලු" ඇතුළුÊචිත්‍රපට කිහිපයක තිරනාටක ලියූ ටෝනි රණසිංහ ජනාධිපති සම්මාන ඇතුළු සම්මාන රැසක්‌ ලබා ගෙන ඇත.

ඔහුගේ තිරනාටකයකට අනුව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂිකා සුමිත්‍රා පීරිස්‌ නිර්මාණය කළ "වෛශ්‍යාවි" ඉදිරියේදී තිරගතවීමට නියමිතය. ඔහු එහි රංගනයෙන්ද එක්‌විය.

දිලිප් කුමාර්ගේ චරිතාපදානය ඇතුළු චරිත කතා කිහිපයක්‌ සිංහලයට පරිවර්තනය කළ ටෝනි රණසිංහයන් ක්‍රිකට්‌ ක්‍රීඩාවට සම්බන්ධ ග්‍රන්ථයක්‌ ද ලියා ඇත.

දරුවන් සිවු දෙනකුගේ පියෙකු වූ ටෝනි රණසිංහ මහතාගේ දේහය පුංචි බොරැල්ලේ සිරිධම්ම මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර ඇත. සිකුරාදා පෙරවරුවේ රණසිංහ මහතාගේ දේහය කොළඹ කලාභවනේ තැන්පත් කරන අතර එදින සවස ඒ මහතාගේ අවසන් කටයුතු වත්තල මහබාගේ පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.