වාස්‌ට ඇප

සරත් ධර්මසේන සහ සමන්ත ඉලේපෙරුම

කෝටිපති ව්‍යාපාරික මොහමඩ් සියාම් ඝාතන නඩුවේ විත්තිකරුවන් වන හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන ඇතුළු  පොලිස්‌ නිලධාරීන් 05 දෙනකු රුපියල් ලක්‍ෂ 05 බැගින් මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ 10 බැගින් සහතික ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය ඊයේ (16දා) නියෝග කළේය.

වසර 02 කට අධික කාලයක්‌ රක්‍ෂිත සිරභාරයේ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්‌පති ගුණවර්ධන මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීන් 05 දෙනාට මෙම නඩුවෙන් ඇප ලැබුණද ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය ළග තබා ගැනීම් චෝදනාවක්‌ මත පවරා ඇති නඩුවකට රිමාන්ඩ් භාරයට නියම වී සිටින නිසා ඔවුනට තවදුරටත් රක්‍ෂිත භාරයේ රැඳී සිටීමට සිදු වනු ඇත.

උපපොලිස්‌ පරීක්‍ෂක ඉන්දික බමුණුසිංහ පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන ගාමිණී සරත්චන්ද්‍ර, ප්‍රියංක සංජීව, කැලුම් දිසානායක මෙසේ ඇප නියම වූ අනිත් පොලිස්‌ නිලධාරීන් 04 දෙනායි.

මෙම නඩුව විභාග කරන ත්‍රිපුද්ගල විශේෂ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට ඇප නියම කළේ ඔවුන් වසර 02 ක අධික කාලයක්‌ රක්‍ෂිත සිර භාරයේ පසුවන බවට පෙන්වා දෙමින් නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

හිටපු නියෝජ්‍ය පොලිස්‌පති ගුණවර්ධන මහතාගේ පුත් රවිඳු ගුණවර්ධන ද මේ නඩුවේ විත්තිකරුවෙකු වන නමුත් ඇප පිට නිදහස්‌ කරන්නැයි ඔහු ඉල්ලීමක්‌ කර තිබුණෙ නැහැ. ඊට හේතුව ඔහු රිමාන්ඩ් භාරයට පත් වී තවම වසර 02 ක්‌ ගත වී නොතිබීමයි.

සෑම මසකට වරක්‌ පොලිසියේ පෙනී සිටීම, නඩුවේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් නොකිරීම, ඇතුළු කොන්දේසි කීපයකට යටත්ව විත්තිකරුවන්ට ඇප නියම කෙරිණි.

ලලිත් ජයසූරිය (සභාපති), සරෝජිනී කුසලා වීරවර්ධන සහ අමේන්ද්‍ර සෙනවිරත්න යන ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය පැවැත්වේ.

නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරල් අයේෂා ජිනසේන මෙනවිය නීතිපති වෙනුවෙන් පැමිණිල්ලට පෙනී සිටින අතර ජනාධිපති නීතිඥවරුන් වන අනිල් සිල්වා ඩී. පී. කුමාරසිංහ අධිනීතිඥ යූ. ආර්. ද සිල්වා හර්ෂ නානායක්‌කාර අසිත විපුලනායක උපුල් කාරියප්පෙරුම ජාලිය සමරසිංහ යන නීතිඥවරු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටිති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.