මහින්ද පෙරටුකරගත් ආණ්‌ඩුව පිහිට වූ පසු අර්ජුනට ශ්‍රීලනිපයේ ඉන්නවාද කියා තීරණය කළ හැකිය
- ප්‍රසන්න රණතුංග කියයි

රනිල් ධර්මසේන

තව පොහොය දෙක තුනකින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද පෙරටු කරගෙන එජනිස ආණ්‌ඩුවක්‌ පිහිටවූ පසුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඉන්නේද නැද්ද යන්න තීරණයක්‌ ගත හැකි බව බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

රාජපක්‍ෂවරු සිටිනතාක්‌ ශ්‍රීලනිපයට නොපැමිණෙන බවට ඇමැති අර්ජුන රණතුංග මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (16 වැනිදා) ප්‍රධාන ඇමැති කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහ ඇමැතිවරයා මේ බව පැවසීය.

මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වූ පහුගිය සමයේත් ඔහු පක්‍ෂයේ නොසිටි බවත් ඉදිරියේදීත් ඔහුට පක්‍ෂයේ සිටින්නේද යන්න තීරණයක්‌ ගත හැකි බවත් කියා සිටියේය.

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ඉදිරිපත් වීමට තමා ඉල්ලුම් කළ බව කී මහ ඇමැතිවරයා පක්‍ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ එකතුවෙන් සන්ධාන ආණ්‌ඩුවක්‌ පිහිටුවන බවද හෙතෙම කීය. ඉකුත් ජනාධිපතිවරණයේදී පක්‍ෂයේ මතයට පිටින් ගිය පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහ පක්‍ෂයේ නොවන ඇමැතිවරයෙකු එක්‌ව පක්‍ෂයට එරෙහිව යම් කුමන්ත්‍රණයක නිරත වන නමුත් පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂයේ අති බහුතරය තමා සමග සිටින බව ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.