සුහදතාව ශක්‌තිමත් කර
රජය සහ පළාත් සභා යනු දෙකක්‌ නොව
එකක්‌ ලෙස ජනතාව අතරට ගෙන යමු

- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

රජය සහ පළාත් සභා අතරේ සුහදතාව ශක්‌තිමත් කරමින් රජය සහ පළාත් සභා දෙකක්‌ නොව එකක්‌ ලෙස ජනතාව අතරට ගෙන යාමට කටයුතු කරමු යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පෙරේදා (15 දා) පැවසීය.

පළාත් සහ ජාතික මට්‌ටමේ මනා සම්බන්ධීකරණයකින් යුතුව රටේ සංවර්ධන ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම පිළිබඳව සියලුම මහ ඇමැතිවරුන්, ආණ්‌ඩුකාරවරුන් දැනුවත් කිරීමේ අරමුණින් පැවැති සමුළුව අමතමින් ජනාධිපතිවරයා එසේ කීවේය.

එහිදී තව දුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනයත් සමග අපේ රටේ ක්‍රියාත්මක වන පළාත් සභා ක්‍රමය පිහිටුවීමේ අරමුණ අපේ රටේ සංවර්ධනයයි. මේ අනුව පළාත් සභා 9 ක්‌ ඇතිවුණා. මම ඉතාමත් සතුටුවෙනවා අද සියලුම මහ ඇමැතිවරුන් සහ ආණ්‌ඩුකාරවරුන් අපේ ආරාධනයෙන් මේ සමුළුවට සහභාගිවීම ගැන ඔබේ අපේ මේ ආයතනවලට ලැබී තිබෙන බලතල අනුව විවිධ ක්‍ෂේත්‍ර හරහා මේ රටේ සංවර්ධනය ඇති කරන්නට ඔබ සියලු දෙනාටම පුළුල් වගකීමක්‌ පැවරී තිබෙනවා.

ඒ වගේම ඔබ සියලු දෙනාටම ස්‌තුතිවන්ත වනවා සෑම කෙනෙක්‌ම පැමිණීමත් සාකච්ඡාවලට සහභාගීවීමත් අනුග්‍රහය දැක්‌වීමත් සියලු ආකාරයෙන්ම ලබා දෙන සහයෝගය පිළිබඳව. අපේ රටේ පළාත් සභාවල ඉතිහාසය අවුරුදු 28 ක්‌ පමණ වන බව ඔබ දන්නවා. මේ වසර 28 තුළ උතුර නැගෙනහිර හැර අනෙක්‌ පළාත් හතේ 87 වසරේ ඉඳලා පළාත් සභා 07 ක්‌ ක්‍රියාත්මක වුණා. ඒ වගේම 2009 න් පස්‌සේ නැගෙනහිර පළාත් සභාව ඡන්දය තියලා ක්‍රියාත්මක වුණා. ඉන්පසු යුද්ධය අවසන් වෙලා සාමය ඇතිවෙලා උතුරු පළාත් සභාව ස්‌ථාපිත වුණා ඡන්දයෙන් අනතුරුව.

රටේ ජනතාව දේශපාලන නායකයන්ට වසර 28 කට ආසන්න කාලයක අත්දැකීම් තියෙනවා පළාත් සභා ක්‍රමය පිළිබඳව. ඒ අත්දැකීම් අනුව අපි කල්පනා කළ යුතුයි මේ වැඩමුළුව කැඳවීමත් සමග. මේ රටේ පළාත් සභා පිහිටුවීමට හේතු වූ කරුණු මොනවාද 13 වැනි සංශෝධනය ගෙන ඒමට මුල් වූ දේශපාලන ආර්ථික සංස්‌කෘතික පසුබිම තියෙනවාද. පළාත් සභා පිහිටුවීමෙන් බලාපොරොත්තු වූ අරමුණ මේ වනවිට ඉටු වී තිබෙනවාද, ඒ අරමුණු ඉටුකර ගැනීමට ගෙවී ගිය වසර 28 ක කාල පරිච්ඡේදය තුළ අපි කොතෙක්‌ දුරට සාර්ථකව කටයුතු කරලා තියෙනවාද, වසර 28 ක අත්දැකීම් සමග පළාත් සභා ක්‍රමයෙන් අප සාර්ථකද අසාර්ථකද අපි කොතනද ඉන්නේ කියලා.

අවිවාදයෙන් ජනාධිපති හැටියට මම පිළිගන්නා දෙයක්‌ තමයි පළාත් සභා ක්‍රමය සාර්ථක කරගත යුතුයි, අඩුපාඩු සකස්‌විය යුතුයි කියන කාරණය. එසේම එය කාර්යක්‍ෂම විය යුතුයි. මහජනතාව එමගින් සලසන සේවාව වේගවත් විය යුතුයි. පැහැදිලි ශක්‌තිමත් පිරිසිදු මූල්‍ය කළමනාකරණයක්‌ පැවතිය යුතුයි. සියලු ආයතන පැහැදිලි සැලැස්‌මක්‌ මත ක්‍රියාත්මක විය යුතුයි.

පසුගිය වසර 20 ක කාලය තුළ රජයේ ඇමැතිවරයෙකු ලෙස ආණ්‌ඩු 04 ක කටයුතු කළ මම දන්නවා පළාත් සභා රජය සහ රේ‚ය අමාත්‍යාංශ අතරේ තිබුණු සබඳතාවයන් අඩුපාඩු ප්‍රශ්න සහ ගැටලු කවරාකාරද කියලා. ඒ වගේම ඇතිවුණු තත්ත්වයන් සහ ඒවා නිරාකරණය වීම් නොවුණු තැන් මොනවාද කියලා.

චන්ද්‍රිකා බණ්‌ඩාරනායක ජනපතිනියගේ කාලයේත් මහින්ද රාජපක්‍ෂ කාලයේත් මම අවස්‌ථා දෙකකදි ඒ නායකත්වයන්ට යෝජනා කළා පළාත් සභා වල තිබෙන තත්ත්වයන් සමාලෝචනය කරලා තිබෙන අඩුපාඩු සකස්‌ කරලා පළාත් සභාවල සේවාවන් විධිමත්ව සැලසුම් සහගතව කාර්යක්‍ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා. රජය හා පළාත් පාලන අතරේ යම් වැඩ පිළිවෙලක්‌ සකස්‌ කරගනිමු කියලා. ඒ අවස්‌ථා දෙකේදීම මට මතකයි ඒ කාලේ ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කැබිනට්‌ අනුකාරක සභා පත්කළා. හැබැයි ඒ කැබිනට්‌ අනුකාරක සභා දෙකේදීම අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක වුණේ නෑ.

දැන් ඔබ අප විශේෂයෙන්ම අලුත් ආණ්‌ඩුවක්‌ සමග කටයුතු කිරිමේදී මම බලාපොරොත්තු වෙන්නේ රජය සහ පළාත් සභා අතරේ සුහදතාව ශක්‌තිමත් කරමින් තිබෙන ප්‍රශ්න හඳුනාගනිමින් මහජනතාවගේ සේවාවන් ඉටුකළ යුතු බවයි. රජය සහ පළාත් සභා දෙකක්‌ නොව එකක්‌ විදියට ජනතාව අතරට යා යුතුයි කියන ප්‍රතිපත්තියේ මම පිහිටා ඉන්නේ. මම සෞඛ්‍ය ඇමැති විදියට හිටි කාලයේත් කෘෂිකර්ම ඇමැති විදියට කටයුතු කළ කාලයේත් මෙතන ඉන්න මැති ඇමැතිවරු දන්නවා ඇති මම පළාත් සභා සමග ඉතාම සමීප සබඳතාවයක්‌ ගොඩනගාගත් බව.

ඒ තුළ මම බලාපොරොත්තු වුණේ ඒ අමාත්‍යාංශත් එක්‌ක ඒ ආයතනික ව්‍යqහය ශක්‌තිමත් කරමින් මනා සම්බන්ධතාවයකින් බොහෝ සමාජය තුළ කතාකරන පළාත් සභාව සහ ආණ්‌ඩුව කියන ආයතන 2 ක්‌ නොව රටක්‌ විදියට වැඩ කරනකොට අපි සියලු ආයතන සහ රජයේ ආයතන සියලු මහජන නියෝජිතයින් රටේ ජනතාවගේ ඡන්දයෙන් පත්වන නියෝජිතයින් විදියට අපි එකම අරමුණක වැඩකිරීමේ වැදගත්කම.

දැන් අපි අද මෙම සමුළුව ගත්තාම අපි දේශපාලන පක්‍ෂ ගණනාවක්‌ නියෝජනය වෙනවා. මම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකයා විදියට අගමැතිතුමා එජාප නායකයා විදියට මෙතන ඉන්නවා. ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායකවරු උතුර නියෝජනය කරන ඒ වගේම මුස්‌ලිම් කොංග්‍රසය ඇතුළු මුස්‌ලිම් ජනතාවගේ නියෝජිතයින් නියෝජනය කරන නැගෙනහිර දේශපාලන නායකයින් ඉන්නවා. අපි අතරේ දේශපාලන පක්‍ෂ ප්‍රතිපත්ති සහ දර්ශන විදියට වෙනස්‌කම් තිබෙනවා. නමුත් අපි රටක්‌ විදියට අපේ රට අපේ ජනතාව අපේ මාතෘ භූමිය වෙනුවෙන් අපේ සේවාවන් ඉටුකිරීමේදී අපිට පොදු කරුණු මත පොදු එකඟතාවයන් ඇතිව අපිට වැඩකරන්න පුළුවන්කම තියෙනවා.

ඒ නිසා අපි එක අරමුණක සියලු දෙනා වැඩ කළ යුතුයි. එක සැලැස්‌මක යා යුතුයි. අධ්‍යාපනය ගත්තාම නිදහස්‌ අධ්‍යාපනය මුළු රටේම එක ප්‍රතිපත්තියක්‌ සෞඛ්‍ය ගත්තාම නිදහස්‌ සෞඛ්‍ය මුළු රටේම එක ප්‍රතිපත්තියක. දැන් මම බලාපොරොත්තු වෙනවා තව සති දෙකකින් විතර අදාළ අමාත්‍යාංශ සහ තමුන්නාන්සේලාත් ආයතනික වශයෙන් අදාළ අංශ කැඳවලා පුළුල් වශයෙන් දේශීය ආහාර නිෂ්පාදන පුළුල් ජාතික වැඩසටහනක්‌ ආරම්භ කරන්න ඒකට සියලු අංශවල පුළුල් සංග්‍රාමික වැඩසටහනක්‌ රටේ ආහාර නිෂ්පාදනය පිළිබඳව.

තමුන්නාන්සේලා අද පිළිගන්නට ඕන අපේ රට මුහුණ දීලා තියන බරපතළ ප්‍රශ්නය වන මත් ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නය ගැන. අපේ දරුවන් බේරාගැනීම සඳහා අපි පුළුල් ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාවය මම දකිනවා. මත්ද්‍රව්‍ය පාලනය මර්දනය සම්බන්ධයෙන් අපි කඩිනමින් පෙළ ගැසිය යුතුයි.

ආණ්‌ඩුවක්‌ කටයුතු කරන්නේ රේ‚ය අමාත්‍යාංශ විෂය පථය තුළ වන අතර පළාත් සභා කටයුතු කරන්නේ පළාත් සභා විෂය පථය තුළයි. මම අදහස්‌ කරන්නේ ඉන් එහාට රටක්‌ විදියට සිතිය යුතුයි කියලා. අපි මෙහෙම සිතමු ප්‍රාදේශීය ලේකම්වරයාට රාජකාරී ලැයිස්‌තුවක්‌ තියෙනවා. ඔහුට ඒ ලැයිස්‌තුවෙන් එහාට මුළු සමාජයම ආවරණය වනසේ කළයුතු කාර්යයන් රාශියක්‌ තියෙනවා. අපි දේශපාලනඥයින් විදියට ඇමැතිවරු මන්ත්‍රීවරු විදියට කටයුතු කරන විට අපේ විෂය පථය තුළ සිට අපි කටයුතු කරනවා වගේම ඒ වගකීමත් දරාගෙන ඉන් එහාට ගොස්‌ ජනතාවට සමීපව කටයුතු කළ යුතු වනවා. සමාජයට අවශ්‍ය වෙනස්‌කම් සහ පරිවර්තනයන් දැන හැඳින ගෙන අපේ අත්දැකීම් සහ දැනුම උපයෝගී කරගෙන අපේ සේවය ඇතිකළ යුතුයි.

වසර 28 ක පළාත් සභා ක්‍රමයේ ගමන් මගේ ඔබට පුළුවන් මේ වැඩමුළුව තුළ අපි ඉදිරියේ හමුවන අවස්‌ථා තුළ තමුන්නාන්සේලාගේ ආයතන තුළ තිබෙන ශක්‌තිය වඩා කාර්යක්‍ෂමව කරන්න තියෙන බාධාවන් මොනවාද මහජන සේවාව හොඳින් ඉෂ්ට කරන්න තිබෙන බාධාවන් මොනවාද. දැන් අපි ආයතනික වශයෙන් කටයුතු කරනකොට බලය ගැනයි කතා කරන්නේ. ජනාධිපතිවරයාගේ බලය පිළිබඳව පාර්ලිමේන්තුවේ බලය පිළිබඳව පළාත් සභාවේ බලය පිළිබඳව ඒ බලය පිළිබඳ කතා කිරීමේ නිදහස සහ අයිතිය තිබෙනවා. වගේම නමුත් මේ තිබෙන බලය අපි කොහොමද හරිහැටි භාවිතා කරන්නේ තිබෙන බලයෙන් අපි කොහොමද වැඩ කරන්නේ කියන කාරණාවත් අපි දැනගත යුතුයි.

මම මගේ අත්දැකීමෙන් මේ කියන්නේ මහවැලි සහ කෘෂිකර්ම ඇමැති විදියට දීර්ඝ කාලයක්‌ කටයුතු කළ නිසා. බොහෝ වෙලාවට අපේ රටේ රේ‚ය අමාත්‍යංශත් පළාත් සභාත් වාරිමාර්ග සහ කෘෂිකර්ම ක්‍ෂේත්‍රවලට කරන වැය කිරීම් කරන ආයෝජන වල අඩුපාඩුකම් රාශියක්‌ මම දකිනවා. ඒ මුදල් හරිහැටි ඒ ව්‍යාපෘතිවලට යනවාද ඒ ව්‍යාපෘති ඉදිකිරීම් ක්‍ෂේaත්‍රයේ නියමිත ප්‍රමිතියකින් ඒ ඉදිකිරීම් කෙරෙනවාද මෙන්න මේ තත්ත්වයන් අපි හඳුනාගත යුතුයි.

මේ රටේ ජනතාවට ඉතාම සමීප ආයතන තියෙන්නේ ඔබතුමන්ලා සතුවයි. පළාත් සභාවට අයිති විෂය පථය ගත්තාම ඔබතුමන්ලා තමයි රේ‚ය අමාත්‍යාංශවලට වඩා ජනතාවට සමීපව කටයුතු කරන්නේ. දේශීය වශයෙන් අපි ගත්තොත් දේශීය කර්මාන්ත එහෙම නැත්නම් ආයුර්වේදය, කෘෂිකාර්මික වැඩසටහන් අධ්‍යාපනය මේ සියල්ලෙහි වඩාත් ව්‍යවස්‌ථානුකූල බලධාරියා ඔබලා. රජය විධියට ප්‍රතිපත්ති සහ සැලසුම් යම් මගපෙන්වීම් තමයි කාර්යභාරය වෙලා තියෙන්නේ.

අපි නිවැරදි කරගත යුතු කාරණයක්‌ද තිබෙනවා. එනම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට සහ රේ‚ය අමාත්‍යාංශයට අයත් කාර්යයන් මොනවාද පළාත් සභාවේ ඇමැතිවරයා සහ මන්ත්‍රීවරයාට අයත් කාර්යය කවරේද කියා ඒ වගේම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ මන්ත්‍රීවරයා කළයුතු කාර්යයන් කවරේද යන්නත්.

තමුන්නාන්සේලාට අපිට රටක්‌ වශයෙන් තිබෙන වගකීම සහ වගවීම ඉතා භාරදූරයි. ජනතාවගේ මුදල් ජනතාවගේ සම්පත් භාවිතය සහ පරිහරණය ප්‍රයෝජනවත් සහ ඵලදායි අයුරින් සිදුකළ යුතුයි. වැඩමුළුවෙන් අපි බලාපොරොත්තුවන්නේ තිබෙන ගැටලු නිරාකරණය කරගෙන මේ සේවාවන් නිසිලෙස කාර්යක්‌ෂම ලෙස ඵලදායී ලෙස ඉලක්‌ක සහගත වැඩපිළිවෙලක්‌ තුළ සම්පූර්ණ කර ගැනීමයි.

ඒ නිසා අද තමුන්නාන්සේලා එක්‌ක මේ අවස්‌ථාවේ මේ හමුවීම මම ඉතා අගය කොට සලකනවා. මෙවැනි වැඩමුළු ඉදිරියේදී මාස 6 කට වරක්‌වත් පැවැත්විය යුතුයි. මම ඉල්ලීමක්‌ කරනවා ඔබලා මාස 3 කට සැරයක්‌වත් පළාත් සභා විදියට ඔබලාගේ පළාත් සභාවේත් මේ වගේ හමුවීමක්‌ පැවැත්විය යුතුයි. ඔබලාගේ සියලු අමාත්‍යාංශ නිලධාරීන් මැති ඇමැතිවරුන් සමග තමුන්නාන්සේලා මාස 3 කට සැරයක්‌වත් හමුවිය යුතුයි. පළාත් සභාවේ රැස්‌වීම නෙමෙයි ඒ හමුවෙලා වරුවක්‌ දවසක්‌ පොදුවේ ආයතනයේ තියෙන දේවල් කතා කළ යුතුයි.

ඒ තුළ බොහෝ වෙලාවට අපි නිවැරැදි වෙන්න පුළුවන් අඩුපාඩු හඳුනාගන්න පුළුවන් අපේ සේවාවන් කාර්යක්‍ෂම වෙන්න පුළුවන්. ඒ නිසා මම ඉල්ලන්නේ තමුන්නාන්සේලා පළාත් සභා විදියට මාස 3 කට සැරයක්‌ මේ වගේ වැඩපිළිවෙළක්‌ අභ්‍යන්තරයෙන් පවත්වගන්න. මාස 6 කට සැරයක්‌ අපි හමුවෙමු.

ඒ නිසා අපිට ආයතනික වශයෙන් ව්‍යවස්‌ථාපිත වශයෙන් මහජන නියෝජිතයන් වශයෙන් කටයුතු කරලා අපිට අපේ රට වඩාත් සමෘද්ධිමත් ශක්‌තිමත් විදියට ගොඩනගන්නට පුළුවන්. අපි හැමෝම ඒ අධිෂ්ඨානයෙන් වැඩ කරමු.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.