තන්වැසියා දුටු දෙය
සුදු දුවේ... ඇයි දුවන්නේ...!

ඒ වෙලාව පිටකොටුවෙ අහස මන්දාරම් සළුපට එලාගෙන වැස්‌සට හූමිටි දීගෙන හිටපු මොහොතක්‌. පසුගිය පොසොන් පෝදා හරියටම හවස දෙක තුන විතර ඇති. ඒ වුණාට වැස්‌සෙ නෑ.

මාත් එක්‌ක අපූරු අත්දැකීමක්‌ කියන්නට සැරසුණු මගේ මිත්‍රයෙක්‌ ඉහළ අහස දිහා බැලුව. ආයෙ බිම බැලුව.

"ඉතිං ඊළඟට මොකද වුණේ"

ඒ වෙලාවෙ පිටකොටුවෙ බෝධිය ළඟ හෝගාල සෙනඟ. එකපාරටම අවුරුදු අටක දහයක පුංචි ගෑනු ළමයෙක්‌ සෙනඟ පීරගෙන ආත බූත කඩාගෙන දිව්ව. මගේ ඇඟෙත් හැපුණ. කෙල්ල හොඳටම බයවෙලා ඇහි පිල්ලම් ගහන්ටත් කලියෙන් ඒ දරුව සෙනඟ අස්‌සෙ නොපෙනී ගියා. දුවපු දිවිල්ලට මිනිස්‌සු එකිනෙකාගෙ මූණු බලනව. එක මනුස්‌සයෙක්‌ කිව්ව ඒකිට අස්‌ස කුලප්පුව වෙන්ටැ කියල. අම්මහරි තාත්ත හරි වැලහිලා. ඒගොල්ලො හොයනව ඇති කියලත් කිව්ව. ඒ මනුස්‌සය එහෙම කියල කටගන්නත් කලින් ඒ කිට්‌ටුව හිටපු පින්තූර විකුණන වෙළෙන්දෙක්‌ මෙහෙම කිව්ව.

"ඒකි අම්මා තාත්තා පස්‌සෙ දුවන වයසෙ දරුවෙක්‌ තමයි. ඒ වුණාට ඒ දරුව දිව්වෙ වෙන කාරණාවකට. ෂුවර් එකට පොලිසිය පන්නන්න ඇති....."

ඒ මනුස්‌සයාගෙ ඒ කතාවට අපි දෙලොවක්‌ අතර තනිවුණා. ඊට පස්‌සෙ පින්තූර විකුණන අර මනුස්‌සය මෙහෙමත් කතාවක්‌ කිව්ව.

"ඔය තරම් අහසයි පොළොවයි ගැටලන්න කල්පනා කරන කාරණයක්‌ නෙවෙයි මං කිව්වෙ. හිතාගන්න බැරිද මොකක්‌ද ඒ දරුව කරන රක්‍ෂාව කියල..."

මගේ ළඟ හිටපු අර මනුස්‌සය ඔළුවෙ අත තියාගෙන මැනිං මාකට්‌ එක පැත්ත බලාගෙන ආතබූත කඩාගෙන යන්න ගියා. ඉතිං මේ වගේ රටකද අපි ජීවත් වෙන්නෙ. මේ හිරිමල් වයසෙ දරුවෙක්‌..."

මිත්‍රයගෙ කතාව අහල මගේ ඇස්‌ දෙකින් කඳුළු පිටවුණේ පොලිසිය කඳුළු ගෑස්‌ ගැහුව වගේ.

සුදු දුවේ ඇයි දුවන්නේ...

පිටකොටුව රත්වෙලා දෝ

මවු කොහේ වැලහුනා දෝ

සුදු දුවේ ඇයි දුවන්නේ...

මේ සිද්ධිය අහල මගේ හිතේ ගීතයක ආරම්භයක්‌ සටහන් වුණේ ඉබේටම.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.