ලුණු නිෂ්පාදනයේ අතුරු නිෂ්පාදන ගැන අවධානය යොමු කරමු
රටට විශාල ආදායමක්‌ එමගින් ගත හැකියි
දකුණු පළාත් ආණ්‌ඩුකාර - හේමකුමාර නානායක්‌කාර

හම්බන්තොට - නන්ද වික්‍රමගේ

දකුණු පළාත් සභාවට විශාල ආදායමක්‌ ලබාදෙන ජාතික ලුණු සමාගම මගින් අප රටට අවශ්‍ය ලුණු නිෂ්පාදන සඳහා පමණක්‌ අවධානය යොමු නොකොට ලුණු නිෂ්පාදනයත් සමඟ ඒ හා බැදුණු අතුරු ඵල නිෂ්පාදනයන් සඳහා වැඩි අවධානයන් යොමු කිරීමෙන් රටට විශාල ආදායමක්‌ ලබාගත හැකි බව දකුණු පළාත් ආණ්‌ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්‌කාර මහතා පැවැසීය.

දකුණු පළාත් ආණ්‌ඩුකාරවරයා මෙම අදහස්‌ පළ කළේ පසුගියදා හම්බන්තොට ජාතික ලුණු සමාගමේ නව සභාපති අයුබ් ඛාන් මහතා සහ එම කාර්ය මණ්‌ඩලයට අයත් සේවක පිරිසක්‌ සමඟ ලුණු සමාගම් සංකීර්ණය තුළ පැවැති රැස්‌වීමකට සහභාගි වෙමිනි.

එහිදී අදහස්‌ පළ කළ ආණ්‌ඩුකාරවරයා මෙසේද පැවැසීය.

ලෝකයේ අද දියුණු වෙමින් පවතින සංවර්ධනය සමගම ඊට සමගාමීව අප රටද යායුතු බැවින් වෙළෙඳපොළට අවශ්‍ය නිෂ්පාදනයන් බිහිකරන ලාභදායි ආයතනයක්‌ බවට ලුණු සමාගම පත්කිරීම සඳහා අවශ්‍ය සැලසුම් නිර්මාණය කරන ලෙසත් ඒ මගින් රැකියා ප්‍රශ්නයට විසඳුම් ලබාදෙමින් ආදායම් ලැබෙන ආයතනයක්‌ බවට ලුණු සමාගම පත්වන බවත් පළාත් ආණ්‌ඩුකාරවරයා වැඩිදුරටත් කියා සිටියේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.