ඇමැති සජිත් ප්‍රේමදාසගේ ගමනට බාධා කළාට
තිදෙනකුට ලක්‌ෂය බැගින් ශරීර ඇප


හම්බන්තොට - නන්ද වික්‍රමගේ

අම්බලන්තොට ප්‍රදේශයේ පැවැත්වෙන රැස්‌වීමකට සහභාගිවීම සඳහා යමින් සිටි නිවාස සහ සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එම ගමනට බාධා කරමින් අවහිර කිරීමක්‌ සිදු කරමින් මාර්ගය අහුරන ලදැයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් තිදෙනකු පසුගියදා හම්බන්තොට මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද්දේ එම ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක්‌ වන තෙන්නකෝන් ගමගේ අජිත්, තෙන්නකෝන් ගමගේ රංජිත් සහ නිතේෂණ දිල්ෂාන් ඉද්දමල්ගොඩ යන තිදෙනාය.

මෙම සැකකරුවන්ගෙන් පළමු වැනි සහ දෙවැනි සැකකරුවන් දෙදෙනා ඉකුත් ජුනි මස 8 වැනි දින හම්බන්තොට මහෙස්‌ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්‌ත්‍රාත් නීතිඥ ආරියසේන මහතා වෙත ඉදිරිපත් කරන ලද අතර තෙවන සැකකරු ඉකුත් ජුනි මස 09 වැනි දින හම්න්තොට මහෙස්‌ත්‍රාත් සහ දිසා විනිසුරු ඉසුරු නෙත්තිකුමාර මහතා වෙත ඉදිරිපත් කරන ලදුව සියලු සැකකරුවන් රුපියල් ලක්‌ෂය බැගින්වූ ශරීර ඇප දෙකක්‌ බැගින් මුදා හැරීමට හා සැකකරුවන් සමථ මණ්‌ඩලය වෙත යොමු කිරීමට නියෝග කරන ලදී.

මෙම නඩුව සැප්. මස 03 වැනි දින නැවත කැඳවීමට නියමිතය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.