සානත බස්තියන් ඇළේ
පාරු පදිමු සෙලෙස්තිනා

කොළඹ නගරය ලෝකයේ සීග්‍රයෙන්ම දියුණුවන සංචාරක නගර අතරින් පළමු ස්‌ථානයට පත්වීමේ කතාව අපි පසුගිය දිවයින ඉරිදා සංග්‍රහය මගින් කතා කළෙමු. මාස්‌ටර් කාඩ් ආයතනය මගින් කරන ලද සමීක්‍ෂණයක්‌ අනුව මෙසේ අගැයුමට ලක්‌වූ කොළඹ නගරයේ පසුගිය වසර හයක සංවර්ධන දත්ත මේ සඳහා සලකා බලා තිබිණි. කොළඹ නගරය පසුගිය වසර හය තුළදී ලබා ඇති භෞතික දියුණුව මේ සඳහා කදිම නිර්ණායකයක්‌ වී ඇත. මෙහිදී සලකා බැලුණේ කොතරම් තට්‌ටු ගොඩනැඟිලි ඉදිවූයේද, බැංකොක්‌, හොංකොං, පැරිස්‌, ලන්ඩන් වැනි කොන්ක්‍රීට්‌ පුරවර නිර්මාණය වූයේද යන්න නොවේ. උද්‍යාන අලංකරණය, සුපිරිසිදු බව, නිදහස්‌ බව, ඇහිරුණු ඉඩකඩ වෙනුවට පුළුල් දර්ශන තල ගොඩනැඟීම හා විශේෂයෙන්ම කොළඹ නගරය තුළ හා ආශ්‍රිත ප්‍රදේශයේ තිබූ දිය අගල් සංවර්ධනයයි.

කොළඹට දිය අගල් නිර්මාණය වන්නේ පෘතුගීසි - ලන්දේසි යුගවල සිටමය. කොළඹ කොටුව වෙනම දූපතක්‌ ලෙස දිය අගලකින් වෙන්ව තිබූ අයුරු පැරැනි රූ සටහන් මගින් අපට දැකගත හැකිය. පෘතුගීසීන්ද, ලන්දේසීන්ද මෙම දූපත යුද උපාය මාර්ගික බලකොටුවක්‌ වශයෙන් සංවර්ධනය කර පවත්වාගෙන යනු ලබන්නේ හතර වටින්ම ජල අගලක්‌ පැවතීම හේතුවෙනි. එපමණක්‌ නොව ලන්දේසි යුගයේදී බේරේ වැව තනවා ශාන්ත බස්‌තියන් ඇළද කරවා එතැන් පටන් කැලණි ගඟට ජල අගලක්‌ නිර්මාණය කළ ලන්දේසීහු හැමිල්ටන් ඇළ තනවා මීගවුවටත් මීගමුවේ සිට පුත්තලම දක්‌වාත් ඕලන්ද ඇළ තනවා බඩු භාණ්‌ඩ මෙන්ම මගීන්ද ප්‍රවාහනය කර ඇත. එකල බේරේ වැවේ මෙන්ම අද පාවෙන වෙළෙඳපොළ (Floating Market) පිහිටි තඩාගය ඔරු පාරු නවතන වෙළෙඳ මධ්‍යස්‌ථානයක්‌ වශයෙන්ද ලන්දේසීන් භාවිතයට ගෙන ඇත.

එම කටයුතු තවදුරටත් පුළුල් වන්නේ ඉංග්‍රීසීන් වෙරළබඩ කලාපය ලන්දේසීන්ගෙන් උදුරාගත් පසුවය. කුඩා පටු ඇළක්‌ වශයෙන් තිබූ මීගමුව කැලණි තොට ඇල මාර්ගය "හැමිල්ටන් ඇළ" ලෙස පුළුල් කරන්නේ ඉංග්‍රීසී පාලන සමයේදීය. එසේම, "බේරේ වැව" ලෙස කොටුව ආශ්‍රිත දිය ඇළ පුළුල් වැවක්‌ (ජාලයක්‌) වන්නේත් ඉංග්‍රීසි පාලන සමයේදීය. ලන්දේසි හා ඉංග්‍රීසි පාලන යන යුග දෙකේදීම මෙරට අගනුවර හා කැලණි ගංතොට, ඇලකන්ද, වත්තල, පමුණුගම, මීගමුව කලපුව යනාදී ප්‍රදේශද බේරේ වැව හා වරායද යා කරමින් අපූරු දියඅගල් ප්‍රවාහන සේවාවක්‌ ක්‍රියාත්මක වී තිබිණි.

එහෙත්, නිදහසින් පසු උදාවන කාලය මෙම දියඅගල් ප්‍රවාහන සේවාව කඩා වැටීමකට ලක්‌කරන අතර කොළඹ නගරයේ ඇළ මාර්ග හා දිය අගල් හුදෙක්‌ කුණු ඇළ මාර්ග බවට පත් කරන යුගයක්‌ බවට පත්වෙයි. අදටත් බොහෝ ඇළ මාර්ග මේ බව අපට පසක්‌ කරවයි. ඉතා හොඳ සංචාරක ආකර්ෂණයක්‌ දිනාගෙන සිටි. ධීවර යාත්‍රාවලටද අතිශය ප්‍රයෝජනවත් වූ හැමිල්ටන් ඇළද ගොඩවී ඉවුරු කඩාවැටී, පොලිතින් ප්ලාස්‌ටික්‌ හා කසළ බැහැර කරන තැනක්‌ බවට පත්විය.

අවසානයේදී කැලණි ගං මෝය කටේ සිට ඇලකන්ද වත්තල දක්‌වා පමණක්‌ ඇළ මාර්ගය විවෘත වූ අතර ඉතිරිය සම්පූර්ණයෙන්ම පාහේ ගොඩ වීමට ලක්‌විය.

කැලණි ගං මෝයේ සිට තොටළඟින් ආරම්භ වී අලුත් කඩේ හරහා පාවෙන වෙළෙඳපොළ භූමිය දක්‌වා ඇති ශාන්ත (සෙබස්‌තියන් ඇළද කුණු ඇලක්‌ බවට පත් විය. නිදහසින් පසු අවම තරමින් වසර 60 ක්‌ මේ ඇළ මාර්ග අභාවයට ගිය අතර කොළඹ නගරයේ "ට්‍රැµsක්‌" භීතිකාවෙන් කොළඹට පැමිණෙන සැවොම පෙළුණෝය. කොළඹ දකුණු ප්‍රදේශයේද තත්ත්වය එයම විය. නාරාහේන්පිට වැල්ලවත්ත ඇළ මාර්ගය ඇතුළු දිය වන්නාවෙන් බටහිරට ගලායන ඇළ මාර්ගවල තත්ත්වයද මීට වෙනස්‌ වූයේ නැත.

එහෙත් යුද්ධයේ නිමාවෙන් පසු කොළඹ ඇළමාර්ග ප්‍රවාහන සේවා මාධ්‍යයක්‌ වශයෙන් යොදාගත හැකි අත්හදා බැලීමක්‌ සිදු කෙරිණි. ඒ හිටපු ආරක්‍ෂක ලේකම් හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක්‌ අනුවය. මේ අනුව නාරාහේන්පිට (නාවල) විවෘත විශ්වවිද්‍යාල භූමියට යාබද ඇළ මාර්ගය නාවික හමුදාව මගින් පිළිසකර කර එම හමුදාවේම අධීක්‍ෂණයෙන් වැල්ලවත්ත දක්‌වා මගී බෝට්‌ටු සේවාවක්‌ ක්‍රියාත්මක කිරීමය. අතිශය සාර්ථක හා ජනප්‍රිය වූ මෙම බෝට්‌ටු සේවාව මගින් ට්‍රැµsක්‌වලට හිර නොවී පහසුවෙන් හැව්ලොක්‌ මාර්ගය, ගාලුපාර ඇතුළු තවත් මාර්ග කිහිපයකට ළඟා වීමේ හැකියාව විවෘත විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට ලැබිණි.

මෙම නියමු ව්‍යාපෘතියෙන් පසු බේරේ වැව හා දියවන්නාව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නංවන ලද මහින්ද රාජපක්‍ෂ රජයේ නාගරික සංවර්ධන අමාත්‍යාංශය කොළඹ අලුත් කරන දිය අඟල් සංවර්ධන ව්‍යාපෘතිය හා මගී බෝට්‌ටු සේවාවද කඩින් කඩ ඇරඹුවේය. හැමිල්ටන් ඇළ සංවර්ධනයද අදියර කිහිපයකින් සිදු වුවත් කොළඹ නගරය, මීගමුව ප්‍රදේශය දක්‌වා මගී බෝට්‌ටු ප්‍රවාහන සේවාවක්‌ ක්‍රියාවට නැඟීම පසුගිය රජයට නොහැකි වූ බරපතළ අඩුවකි. එය ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට අවස්‌ථාව උදාවූයේ නැත යන්න අපගේ අදහසයි. යම් හෙයකින් කොළඹ නගර සංවර්ධනයට සමගාමීව මෙවන් දිය අගල් බෝට්‌ටු සේවාවන් ක්‍රියාත්මක වූයේ නම් එය කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශයේ අධික මාර්ග තදබදය අවම කිරීමට හේතුවක්‌ වනවා සේම අතිශය සංචාරක ආකර්ෂණයක්‌ දිනා ගන්නා ක්‍රියාමාර්ගයක්‌ වනවාටද සැක නැත.

යම් සංචාරකයකු හෝ මගියකු මීගමුව කලපුවෙන් සංචාරක බෝට්‌ටුවකට නැග ගත් කල ඔහුට බේරේ වැවට හෝ දියවන්නාවට හෝ වැල්ලවත්ත දක්‌වා ගමන් කිරීමට මෙම බෝට්‌ටු සේවාව භාවිතයට ගනු හැකිව තිබේ. ඊට අවශ්‍ය මූලික වටපිටාව දැනටමත් සකස්‌ වී ඇත. කොළඹ නගරයට නැගී එන සංචාරක නගර අතරින් පළමු තැනට එන්නට එම වටපිටාවද හේතු වූවාට සැක නැත. එබැවින් නැවතූ තැනින් පටන්ගෙන කොළඹ නගරයේ කුණු ඇළ බවට පත්වී ඇති දිය අගල් තුළ මගී බෝට්‌ටු සේවාවක්‌ ක්‍රියාත්මක කිරීම කාලෝචිත පියවරක්‌ ලෙස අප හඳුන්වා දෙමු. එය කොළඹ වාහන තදබදයට විසඳුමක්‌ සේම, සංචාරක ආකර්ෂණීය කටයුත්තක්‌ ලෙසද නැවත අවධාරණය කරමු. අප මේ යෝජනාව කරන්නේ පසුගිය දින කිහිපයක තායිලන්තයේ බැංකොක්‌ නගරයේ කුණු ඇළ තුළ කරන ලද බෝaට්‌ටු මගී ප්‍රවාහන සේවාවෙන් ලද අත්දැකීම්ද අනුසාරයෙනි. බැංකොක්‌ නගරයද අතිශය වාහන තදබදය ඇති නගරයකි. එහෙත් එහි මගී ප්‍රවාහනය හරි අපූරුවට කළමනාකරණය කර ඇත. මෙම මගී ප්‍රවාහන කළමනාකරණය තට්‌ටු (ලේයර්) කිහිපයකින් ක්‍රියාවට නැඟේ. උමං දුම්රිය භූමිය යටින් දිවෙන අතර පොළොව මතුපිටින්ද දුම්රිය මාර්ග පද්ධතියක්‌ වේ. ඒ මහා මාර්ග පද්ධතියට අමතරවය. මෙම භූගත හා භූමිය මතුපිට ප්‍රවාහන මාධ්‍යයට අමතරව කුණු ඇළ මාර්ග භාවිතයට ගෙන ක්‍රියාත්මක වන මගී ප්‍රවාහන බෝට්‌ටු සේවාව බැංකොක්‌හි කාර්යාල සේවකයන්, සාමාන්‍ය මගීන් අතර මෙන්ම බැංකොක්‌ වෙත දිනපතා දහස්‌ ගණනින් යන සංචාරකයන්ටද මහත් පහසුවකි. සංචාරක ආකර්ෂණීය ස්‌ථාන වෙළෙඳ සංකීර්ණ රැසක්‌ මෙමගින් සම්බන්ධ කෙරේ. මීට අමතරව නාගරික අධිවේගී මාර්ග පද්ධතිය හා උඩු ගුවන් දුම්රිය (Sky Train) ද නගරයේ තදබදය අවම කරන විකල්ප ප්‍රවාහන මාධ්‍යය.

කොළඹ නගර සංවර්ධනයේදීද පසුගිය රජය මගින් මෙවන් දියුණු නගරවල නිර්ණායක භාවිතයට ගෙන ඇති බව පෙනේ. ඒ නැතත් කොළඹ නගරය යනු ඓතිහාසික වටිනාකම් සහිත සියලු පාරිසරික අංගෝපාංග සහිත වටිනාකම්වලින් යුතු නගරයකි. වසර හැටකටත් වැඩි කාලයක්‌ ඉබාගාතේ ඔහේ පල් වෙවී සංවර්ධනය වූ කොළඹ නගරය හරියට ට්‍රැක්‌ එකකට වැටුණේ මහින්ද චින්තන වැඩසටහනේදී බව අපිට පිළිගැනීමට සිදුවේ. මෙම නැඟිටීම ජාතියක දියුණුවට මඟ පෑදීමකි. එහෙයින් කොළඹ නගරයේ දියුණුව තවදුරටත් ඉදිරියට ගෙන යැම පාලකයන්ගේ යුතුකමය. දිය අගල් මගී ප්‍රවාහන සේවාවක්‌ ක්‍රියාවට නැඟීම අපගේ යෝජනාවයි. එවිට අපට ශාන්ත බස්‌තියන් ඇළේ යළිත් සෙලෙස්‌තිනා ලාට පාරු පදින්නට ආරාධනා කරන්නට හැකිය.

ජගත් කණහැරආරච්චි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.