ගිහිල්ලා යළි එන්න මගෙ දුවේ...
විද්‍යා දියණිය පිළිබඳ ළබැඳි ගුරු පියෙකුගේ මතක සටහන්


අප මිත්‍ර දුෂ්‍යන්තන්ට පුංකුඩුතිව් මහ විද්‍යාලයේ දී විද්‍යා සිවයෝගනාදන් හමුවන විට ඇය වයස අවුරුදු 12 ක්‌ තරම් වූ කුඩා බාලිකාවකි. දැනට වසර 5 කට පෙර වූ ඒ සිදුවීම දුෂ්‍යන්තන්ට හොඳ හැටි මතකය. ඒ ගුරුවරයකුගේ හැටිය. තමන්ගෙන් අකුරු උගත් සෑම දරුවෙකුම ඔහුගේ හෝ ඇයගේ මතක පරිගණකයේ තිත් වශයෙන් තැන්පත්ව හිඳී. පසුව එම තිත් දත්ත බවට පරිවර්තනය කොට සිදුවීම් වශයෙන් දිග හැර ගැනීමට ගුරුවරයෙකුට හැකියාව ලැබේ.

කුඩා විද්‍යාට දුෂ්‍යන්තන් ගුරුපියාණන් විශාල චරිතයකි. වීරයෙකි. මේ නිසාම තමන්ට ගණිත විෂය සම්බන්ධයෙන් පැවති අසීරුතාව ගැන ඈ ගුරුතුමා සමග කතා කළාය. ගුරුතුමා විද්‍යා දිරි ගන්වමින් සෙමෙන් සෙමෙන් හෝ ගණිතයට ප්‍රිය කිරීමෙන් එය ඇයට ලබාගත හැකි දිනුමක්‌ බැව් අවබෝධ කරන්නට සෑම උත්සාහයක්‌ම ගත්තේය. එපමණක්‌ නොව අනෙක්‌ ගුරුවරුන් මගින් පවා දුෂ්‍යන්තන් මේ ගණිත අසීරුතාව පිළිබඳව ඇගේ සිතේ පවතින ගැටලුවට සහනයක්‌ සොයා දීමට උත්සාහ ගත්තේය. මෙවන් උත්තම ගණයේ ගුරුවරයකු ලැබීමට තරම් විද්‍යා කොපමණ වාසනාවන්තවීද?

කෙමෙන් කෙමෙන් භද්‍ර යෞවනයට එළඹි විද්‍යා කෙදිනක හෝ මාධ්‍යවේදිනියක වේමැයි අදිටන් කළාය. "මාගේ අනාගත බලාපොරොත්තු" මැයෙන් ගුරුතුමා දුන් රචනාවේ දී ඈ මේ බව සඳහන් කළාය.

මෙවන් දීප්තිමත් අනාගතයක සිහින සමගින් ජීවත් වුවද විද්‍යාට අයිති නැති ප්‍රශ්නයක්‌ ඇගේ පසුපස ලුහුබඳිමින් තිබිණි. වාර්තා වන අන්දමට පවුල් දෙකක්‌ අතර වූ පුද්ගලික ආරවුලක්‌ නිසා වන්දි ගෙවීමට දෛවය කුරිරු දඬුවමක්‌ ඈ වෙනුවෙන් පැන වූවාක්‌ මෙනි. 2015 මැයි 13 වැනි දිනය විද්‍යා සිවයෝගනාදන් දියණියට මෙතරම් කුරිරු දිනයක්‌ වෙතැයි සිතා ගැනීමටත් නොහැකි තරම්ය.

අද බොහෝ ළමයි පරිසරයට හෝ එකිනෙකාට දැක්‌විය යුතු ආදරය කුමක්‌දැයි නොදනිති. ලිංගික තෘප්තියම ආදරය යෑයි සිතන ඔවුහු ළමා වියේදීම මේ කරුණු අත්හදා බැලීමට ගොස්‌ සිය ජීවිත විනාශ කර ගනිති. දිවිනසා ගැනීමට පෙළඹෙති. තම සහෝදර සහෝදරියන් පමණක්‌ නොව තම දෙමාපියන්ද ඝාතනය කිරීමට තරම් එඩිතර වී ආනන්තරිය පාපීහු බවට පත්වෙමින් සිටිති.

ඉහත කී තත්ත්වයන් වළකා ගැනීමට වගකිව යුත්තේ බුද්ධිමත් ජනතාව බව ලියුම්කරුගේ අදහසයි. දුර්බුද්ධිමත් පුතුන් තිදෙනකු බුද්ධිමත් පාලකයන් කරනු පිණිස විෂ්ණු ෂර්මන් පඬිවරයා "පංචතන්ත්‍රය" නම් කෘතිය රචනා කළේය. ධනයෙන්, බලයෙන් අන්ධ වී විනාශ වීමට ගිය ඇතැන්ස්‌ නගරවාසීන් සතුරු ආක්‍රමණයෙන් මුදාගනු පිණිස ග්‍රීක නාට්‍යකරු ඇරිස්‌ටොµනීස්‌ "ප්‍රොග්ස්‌" නම් නාටකය රචනා කළේය. දේශපාලන බලයෙන් අසාධාරණයෙන් වල්මත් වී සිටි ඇතැන්ස්‌ වාසීන්ට ඔහු එම නාටකයෙන් කියා සිටියේ නුඹලා රත්රන් දම්වැලකින් සිය ගෙල වැලලා ගෙන මියයැමට සූදානම් වන බවයි. අතීතයේ දී මෙන් විපතට වැටෙන්නට ගිය මිනිසුන් මුදා ගැනීමට අපේ බුද්ධිමතුන් අද පෙරට ආ යුතුය. ඒ සඳහා බුද්ධිමතුන්ගේ හිඟයක්‌ අප රටට නොමැත. සිදුව ඇත්තේ සියලුම බුද්ධිමතුන් නිහඬව සිටීමයි. තම තමන්ගේ වැඩක්‌ කරගෙන ඉහත කී අගතිගාමී සමාජය තුළම ගැටෙමින් ජීවත් වීමයි. මෙහිදී බුද්ධිමතුන් ලෙස ප්‍රඥවත්, ධෛර්යවන්ත භාවයත්, ඉවසීමත් ඇති මිනිසුන්ද එයට අයත් වේ. එසේ නම් අපේ රටේ වැඩියෙන්ම සිටින්නේ බුද්ධිමතුන් නොවේද?

ඉහත කී ආකාරයෙන් විවිධ ධාරාවන් ඔස්‌සේ අපේ බුද්ධිමත් ජනතාව තමන්ට මේ සඳහා කළ හැක්‌කේ කුමක්‌දැයි සෙවීමට උත්සුක විය යුතුය. නොඑසේ නම් අප දිනෙන් දින ලබාගන්නා දියුණුව අත් විඳින්නට යහපත් මිනිස්‌දම් සහිත ජනතාවක්‌ අනාගතයට ඉතිරි නොවනු ඇත. වර්තමානයේ සමාජය අත් විඳින නින්දිත සිදුවීම් වළක්‌වාලීමට ඇති ප්‍රබල මහජන සේනාව අපමය යන්න අප අමතක නොකළ යුතුය.

ගුරුවරුන් වශයෙන් අප සැමද අපගේ මිත්‍ර දුෂ්‍යන්තන් තුරෙයිරාජා මෙන් දරුවන්ට ආදරයෙන් ඉගැන්වීමෙන් පමණක්‌ නොසෑහී ඔවුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් අපට කළ හැකි යමක්‌ ගැන කල්පනා කළ යුතුය. දැනුම නමැති අශ්වයා පිට නැඟුණු අතිධාවනකාරී අශ්වාරෝහකයන් පමණක්‌ නොවී කුසලතා හා ආකල්ප සඳහා ද අපේ පංති කාමරය ගෘහයක්‌ කරගත යුතුය.

එහෙත් අපි දුෂ්‍යන්තන්ට බොහෝ සේ ගෞරව කළ යුතු වෙමු. ඊට හේතුව රුදුරු ලෙස ඝාතනය වීමට පෙර ඔහු විද්‍යාට කරුණාවෙන් සැලකීමයි. ඇගේ දක්‍ෂතා ඔප් නංවමින් ඇගේ සිතට සතුටක්‌ ගෙන දීමයි. ඒ නිසා ඔහුගේ සිතේ විද්‍යා වෙනුවෙන් නැඟෙන වේදනාව ඉතාම හැඟීම්බරය.

විද්‍යා මියයැමට ආසන්න කාලයේ දී දුෂ්‍යන්තන්ට වෙනත් විදුහලකට මාරු වී යැමට සිදුවිය. එම සිදුවීම නිසා මහත් ශෝකයට පත් දැරිය යහළුවන් සමග පැමිණ මාරුවීම අවලංගු කරගෙන අප සමගම රැඳී සිටින්නැයි ගුරුතුමාගෙන් කළ ඉල්ලීම ඔහු අද ද සිහි කරනුයේ පීතෘ ස්‌නේහයෙනි. කෙසේ නමුත් දුෂ්‍යන්තන්ට වේලනෙයි විදුහලට මාරුවී යැමට සිදුවිය. එම පාසලේ පැවති සම්මන්ත්‍රණයකදී ඔහුට විද්‍යාව නැවත හමුවිය. විද්‍යා සිය යෙහෙළියන් සමග පැමිණ සිය ගුරුපියාණන් සමග කතාබහ කළාය. එයින් ඇය ගුරුතුමාට පෙන්වා දීමට උත්සාහ කළේ මෙතෙක්‌ තමන්ට අකුරු කළ දයාව කරුණාව දැක්‌වූ ගුරුතුමා තමන්ට කිසි දිනක අමතක නොවන බවය. දුෂ්‍යන්තන්ගේ පීතෘ සෙනෙහැති ගුරු භූමිකාව පිළිබඳව අපට අව්‍යාජ හැඟීමක්‌ ඇති වෙයි. ඇගේ බිහිසුණු අවසානය ඔහු සිහිපත් කරන්නේ තමන්ගේම දියණියකට වූ දෙයක්‌ ලෙසිනි. මුදල් නැති නිසා විද්‍යාට කලක්‌ පැවති හිසරදයක්‌ හා ඒ හා සබැඳි ඇස්‌ අමාරුවක්‌ තිබූ බව ඔහු දැන සිටියේය. ඒ නිසා ඇගේ අවසන් මොහොත ඔහු සිහි කරනුයේ වාවාගත නොහැකි ශෝකයකිනි. මරණය සත්ත්වයාට පොදු දහමක්‌ වුවද මෙවන් සියුමැලි බාලිකාවකට එය ඉතා අසාධාරණ මරණයක්‌ යෑයි ඔහුට සිතෙයි.

ඒ අප්‍රමාණ ශෝකජනක අවමංගල පෙරහැරේ ගමන් කළ යාපනයේ ගුරු භවතුන්ගේ චිත්ත රූපයක්‌ අපේ සිත් සතන් හි මැවෙයි.

මවගේ දෑතේ එල්ලී බලා සිටියදී දොරින් දොරට පැනගිය තමන්ගේම මිනිසුන් දිනෙක තමාව මෙසේ කෲර ලෙස ඝාතනය කරාවි යෑයි ඇය සිහිනෙනුදු නොසිතුවාය. ධෛර්යවන්තව ජීවිතයට මුහුණදීමට උත්සාහ කළද විද්‍යා සිය කෙටි ජීවිත කාලය පුරාම අනුභව කර ඇත්තේ දුකමය. කිසිවෙකුට වරදක්‌ නොකළ විද්‍යා දෙස නිහඬව බලා සිටීමට නොහැකි අහස්‌ කුස කඳුළු වගුරන්නට පටන් ගත්තේය.

අවමඟුල් පෙරහැරේ ගමන්කරද්දී අපව

තෙමාගෙන වැටුණු වැස්‌ස නිසා අපට

අපේ කඳුළු හංගා ගන්න පුළුවන් වුණා

"ගිහිල්ලා එන්න මගෙ දුවේ..."

දුෂ්‍යන්තන් තුරෙයිරාජා, එනම් අපගේ අප්‍රමාණ ගුරු සගයා එලෙස කීවේ විද්‍යාටය. එහෙත් විද්‍යා නැවත කිසිවෙකුටත් හමු නොවෙයි. විද්‍යාවේ ආලෝකය සමඟින් ඈ යන්නට ගියාය.

මෙවන් උදාරතර දියණියක්‌ මෙලෙසින් අහිමි වූයේ උතුරුකරයට පමණක්‌ නොවේ මුළු දිවයිනටමය. විද්‍යා ඔබ අපේ දියණියකි. අපේ රටට සේවය කරන්නට සිටි අපේම දියණියකි. එනිසා අපිද ඔබේ ගුරුතුමා මෙන් ඔබ වෙනුවෙන් හඬන්නෙමු. එහෙත් අප හඬන පෙදෙසට තවමත් වැසි වැටී නොමැත. "විද්‍යා" හදවත කොණක අර්ථාන්විත ඔබේ නාමය රඳවා ගනිමින් අපි මේ විෂම ගමන් මඟ ඇවිද යන්නෙමු. ඔබේ නාමයට ගෞරව කරමින් ඔබ පැතූ යහපත් ලෝකය ගොඩනඟන්නට උත්සාහ කරමු.

චන්ද්‍රිකා මහගම්ආරච්චි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.