අනේ මෙහෙම තණ්‌හාවක්‌
රත්තරන් කරාබු දෙකට ලොබ බැඳ
මිහිදන් මව ගොඩගත් අමන රැළක්‌...




අද සමාජයේ රත්තරන් ද මිනිස්‌ ජීවිත බිලි ගන්නට පටන් ගෙන ඇත්තේ ඉවක්‌ බවක්‌ නැතිවය. ප්‍රේම ලෝකයේ " රත්තරන්" නිසා දැයට අහිමි වන තරුණ ජීවිත අපමණය. වාණිජ ලෝකයේ රත්තරන් නිසා මං පහරන්නන් හොරුන් ගෙන් ජීවිත අහිමි කර ගන්නා හෝ අනතුරු කර ගන්නා පිරිසද දිනෙන් දින ඉහළ යාම ෙ€දවාචකයකි.

අද අපි කියන්න හදන්නේ ඊට වෙනස්‌ රත්තරන් කතාවකි. රත්තරන් නිසා ජීවිතයක්‌ අහිමි කිරීමක්‌ ගැන නොවේ. අහිමි වූ ජීවිතයකින් රත්තරන් සොරා ගැනීමක්‌ ගැනය. මේ කථාව නිසා පසු ගිය සතිය අනුරාධපුරය රත් වී තිබිණ. "දිවයින" ඉරිදා අපි මේ ගැන තොරතුරු දැන ගන්න අනුරාධපුරයේ අපේ මිත්‍රයකුට කථා කළාම ඔහු කීවේ අමුතු කථාවකි. "මොකක්‌ද අයියේ ඔයාලා කුණු ගොඩක්‌ හොයා ගෙන ඒක රසකර කර ලියනවා. නේද? මම මගේ මිත්‍රයාට උත්තර දෙන්නට ගියේ නැත. ඒත් කියවන්නන් වාලේ පත්‍ර කියවන්නෙකුට කථා කිරීම ගැන මට ඇති වුණේ පසු තැවිල්ලකි. කොහොම වුණත් මේ කථාවේ නොකියවෙන කථාව " දිවයින" ඉරිදා අපේ පාඨකයින්ට කියවන්නට සැලස්‌වීම යුතුකමක්‌ හා වගකීමක්‌ ලෙස සලකා ඒ පුවතේ ඇතුල් පැත්ත පිටතට ගන්නට වෙහෙසුනෙමි.

"ඇය අනුරාධපුර වන්නි පලුගොල්ලෑව ගමේ පදිංචිව සිටි 20 හැවිරිදි එක්‌ දරු මවකි. අවුරුදු 20 යි කියන්නේ තරුණ වයසනෙ. විවාහ වුනත් සමහර ප්‍රශ්නවලදී ආවේග පාලනය කර ගන්න අපේ බොහෝ අයට තියෙන පොදු විසඳුම තමයි සිය දිවි නසා ගැනීම. මේ තරුණ මවද ඒ විසඳුම සොයා ගත්තේ තම සැමියා සමග ඇති කර ගත් බහින් බස්‌ වීමක්‌ නිසා ඇති වූ චිත්ත ආවේග පාලනය කර ගැනීමට විය හැකිය. ඒ වේලාවට ඉතිං ඇස්‌ දෙක වාගේ රකින දරුවෝ ගැනත් අපේ අයට මතක නෑනේ. ඔය ඔක්‌කොම ආදරේ තමන්ගේ සිත සතුටින් නම් විතරයි. කොහොම හරි මේ තරුණ මව තමන්ගේ සිතේ ආවේගයට බෙල්ලේ වැලලා ගත්තේ මිය යන්නම හිතාගෙන නොවෙන්නත් පුළුවන්. සමහරු විහිළුවට කරන්න ගිහිල්ලා ඇස්‌ රතු කර ගන්නවානෙ. මේකත් එහෙමද දන්නෙ නෑ. හැබැයි එහෙම නම් ඒක ගැන දන්නෙත් ඒ තරුණ මව විතරමයි. මේක නිසා තමයි " හැම සොහොනකම රහසක්‌" කියලා කීවේ.

ගෙල වැලලාගෙන මිය ගිය මේ මවගේ අභාවය පවුලේ ඥාතීන්ට නම් දරා ගන්න බෑ. ඇය පවුලේ කා සමගත් හොඳින් ඇසුරු කළ නිසා ඇය ගැන හැමෝටම තිබුණේ අවංක දුකක්‌. ඒ නිසාම ඇය මිහිදන් කරන වේලාවට ඇය පැළඳ ගෙන සිටි කනකර ගලවා ගැනීමද පවුලේ අය ප්‍රතික්‍ෂේප කළේ "කන පාළුවට ඇරලා මිහිදන් කරන්නේ කොහොමද කියල හිතලා වෙන්න ඇති. කොහොම වුණත් ඇය භූමදානය කළේ ඇගේ සිරුරට පස්‌ගොඩ ගසා නොවේ. වළ තුළ මිනී පෙට්‌ටිය තැන්පත් කර ඊට උඩින් කොන්ක්‍රීට්‌වලින් සකස්‌ කළ කොන්ක්‍රීට්‌ ලෑල්ලක්‌ තබා වළ වසා දැම්මේ ඇයගේ දේහයටවත් රිදුමක්‌ නොවිය යුතුයි. කියලා පවුලේ අය හිතපු නිසා වෙන්න ඇති.

තරුණ මව ඉකුත් 13 දා එසේ මිහිදන් කළේ ඇය පැළඳි රත්තරන් කරාබු ජෝඩුවද සහිතවයි. අපේ සමහරු ගෙවල්වලට යන්නේ ගෙතුළ ඇති දේ බලා ගන්න මිසක්‌ හිතවත් කම් වැඩි කර ගන්න නොවේනේ. ඒ වාගේ මේ මළගමටත් ආපු අයගෙන් ඇතැම් අය බලන්න ඇත්තේ පෙට්‌ටිය කොහොමද අතේ මුද්ද තියෙනවාද ඔය වාගේ දේවල්නෙ. කොහොම හරි කරාබු දෙක දේහයෙන් ඉවත් කර නොගත් බව සහතික කර ගත් දේහයට අවසන් ගෞරව දැක්‌ වූ ඇතැම්හු (ඇතැම් හොරු) ඒ ගැන තම ඊළග කටයුත්ත සැලසුම් කළහ. දේහය වළ තුළ තැන්පත් කළ ඥාතීන් ඇයගේ ආත්මයට ආලෝකයක්‌ වන්නට පහනක්‌ද දල්වා සියලු දෙනා සොහොන් භූමියෙන් නිවෙස්‌වලට ගියහ. ඔවුන් දැල් වූ පහන් එළිය තරුණ මවගේ සොහොනට එළිය දුන්නේ ඇගේ ආත්මය ආලෝකවත් කරන්නද නැතහොත් ඇගේ සොහොන දෙසට එන්නන්ට මග පෙන්වන්නටද? යෑයි සිතෙන්නේ සිදුව ඇති දේ නිසාය.

එදින හවස්‌යාමේ සොහොන් බිමේ සකස්‌ කළ වළක තැන්පත් කළ මේ තරුණ මවගේ දේහය ගොඩට ගෙන ඇගේ දෙකනේ තිබූ කරාබු ගලවා ගෙන ගොස්‌ තිබෙනු ඥාතීන් දුටුවේ පසුදා උදේ සොහොනට ගිය විටදීය. තම ආදරණීය බිරිඳ ඥාතිවරිය දෝනියගේ දේහය ගොඩගත්තේ කව්රුන් දැයි පවුලේ ඥාතීන්ට ගැටලුවක්‌ විය. ඔවුහු මේ බව අනුරාධපුර පොලිසියට කීහ. ඒ පැමිණිල්ලට අනුව පරීක්‍ෂණ පැවැත් වු පොලිසිය මිහිදන් කළ තරුණ කාන්තාවගේ දේහය සොහොන් වළෙන් පිටතට ගෙන ඇගේ දෙකනේ තිබූ රත්තරංන් කරාබු දෙක ගලවා ගෙන ගොස්‌ ඇති අයුරු දැක ගත හැකි විය. රත්තරන් නිසා මිනිස්‌ ජීවිත අහිමි වන සමාජයක අහිමි වූ ජීවිතයක රත්තරන් අතුරුදන්ව තිබුණේ එසේය. මේ රත්තරන් අතුරුදන් වීම ගැන අනුරාධපුර පොලිසිය පරීක්‍ෂණ පවත්වන අතර මේ දක්‌වාම කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත.

කථාව හා ඡායාරූප
ජයසූරිය උඩුකුඹුර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.