වෙළේ සුදා උදයන්තිට සල්ලි දුන්නේ ටෙලි නාට්‍ය ගහන්නද..?



වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවෙන් එක්‌ස්‌පෝර්ට්‌ වීමෙන් පසු මහා කුඩු රාජයකු ලෙස ප්‍රකටව සිට ඉකුත් ජනවාරි 12 වැනිදා යළි පාකිස්‌ථානයේ සිට මෙරටට ඉම්පෝර්ට්‌ කර රහස්‌a පොලිසියට භාර දුන් ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙළේ සුදා පිළිබඳ කතාව දැන් යළිත් කරළියට පැමිණ තිබේ.

ඒ වෙළේ සුදා භාර ගත් සීඅයිඩීය හතරවැනි තට්‌ටුව දෙදරණ අන්දමින් කන්දක්‌ විළිලා වැදූ වෙළේ සුදා කතා මාලාවේ තවත් එක්‌ කෙන්දක්‌ හමුවේ ය.

මෙහිදී මුලින්ම කිව යුතු එක්‌ දෙයක්‌ ඇත. ඒ අප මේ සටහන තබනුයේ සීඅයිඩීය පිළිබඳව කිසියම් තරහක්‌, වෛරයක්‌ හෝ ආරෝවක්‌ නිසා නොවේ යෑයි යන්නය. නොදරුවන් වරදි කරන කල කනට දෙකක්‌ දීමෙන් හෝ උන්ට හරි මඟ කියා දිය යුතුය. වෙළේ සුදා ගැන කතා කරද්දී සීඅයිඩීය සම්බන්ධයෙන්ද අපට ඇත්තේ එවන් හැඟීමක්‌ බව විශේෂයෙන් සටහන් කළ යුතුය.

ඇතැම් විට වෙළේ සුදා අරබයා සීඅයිඩීයේ විමර්ශන දෙස බැලීමේදී අපේ ඒ මානුෂීය හැඟීම සහ උත්සාහය "පැටියා ජලයට වැටුණු කල නැට්‌ටෙන් මුහුද ඉසින්නට තැත් කළ ලේනියගේ" කතාවට සම විය හැකිය. නමුත් කරන්නට දෙයක්‌ නැත. එනිසා අපේ කාර්යය අප කළ යුතුය.

මන්ද වත්මන් පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් වැනි මේ රට වෙනුවෙන් කැපවී රාජකාරි කරන කීර්තිමත් නිලධාරියකු හෙවත් මහත්මයකු යටතේ පොලිසිය තිබියදී ඇඟිල්ලේ තරම නොදැන සියල්ල බදාගෙන තෙල බෙදන්නට සැරසෙන ඇතැම් "වෙන්ඩ අයිජීපීලාගේ" සොකරි ඩාන්ස්‌ හමුවේ අද දවසේ සීඅයිඩීයට පමණක්‌ නොව පොලිස්‌ දෙපාර්තමේන්තුවේ බොහෝ අංශවලට අත් වෙමින් තිබෙන ඉරණම අප දැන සිටින බැවිනි.

වෙළේ සුදා ගත් සීඅයිඩීය ඉකුත් කාලයේ "මේන් මේ දැන් වෙළේ සුදා කිව්වා" යෑයි කියමින් රටට කියූ කතා බොහෝ තිබිණි. එහිදී හිටපු පොලිස්‌පතිවරයකු වෙළේ සුදා සමඟ සම්බන්ධ බව වරෙක කී සීඅයිඩීය තවත් විටෙක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා ඇමැතිවරයකු ගැනද කියන්නට විය.

එසේම පොලිස්‌ විශේෂ කාර්ය බලකායේ ඇතැම් නිලධාරින්ද වෙළේ සුදාට සම්බන්ධ යෑයි කියන්නට වූ අතර අවසානයට කීවේ මෙරට ටෙලි නිළියන් හය දෙනකුද වෙළේ සුදා හා ගනු දෙනු කර තිබෙන බව අනාවරණය වූවේ යෑයි යන්නය. පොලිසිය කී අන්දමට මේ සියලු දේ හෙළි කර තිබුණේ වෙළේ සුදාය.

එහෙත් මෙසේ වෙළේ සුදා කිව්වේ යෑයි කියමින් බොහෝ දේ රටට කියන්නට වූ පොලිසිය හෙවත් සීඅයිඩීය ඒ පිළිබඳ පසුව කියන්නට වූයේ වෙළේ සුදා පොලිසියට කී කතා බොහොමයක්‌ පරීක්‍ෂණ නොමඟ යෑවීම සඳහා සිදු කර ඇති අසත්‍ය ප්‍රකාශ යෑයි යන්නය.

ඒ අනුව වෙළේ සුදාගේ ප්‍රකාශ මත නොමඟ ගිය පොලිසිය හරි මඟට එන විට සුදා සමඟ සබඳතා පවත්වා ඇතැයි පොලිසියම මුලදී කී හිටපු පොලිස්‌පතිවරයාත් මන්ත්‍රීවරු සහ ඇමැතිවරු මෙන්ම එස්‌ටීඑµa නිලධාරින් ගැන කතාවද යට ගියේය.

නමුත් ඉතිරි වූ එකක්‌ තිබිණ. ඒ අපේ සුන්දර ටෙලි නිළියන්ගේ කතාවය. මෙකී නිළියන්ගේ කතාව හෙළි කරද්දී පොලිසිය සිදු කළ තවත් දෙයක්‌ද විය. ඒ වෙළේ සුදා හා සීඅයිඩී පරීක්‍ෂණයේ ආරම්භයේ පටන්ම සිදු වූ පරිදි මෙකී නිළියන් කවුරුන්දැයි යන්න හෙළි කිරීමට පොලිසිය හෙවත් සීඅයිඩීය කටයුතු නොකිරීමය.

එහි ප්‍රතිඵලය වූයේ සීඅයිඩීය රස කර කියන්නට වූ ටෙලි නිළි කතාව හමුවේ මෙරට ටෙලි නාට්‍යවල පමණක්‌ නොව සිනමාවට පවා සම්බන්ධව සිටි නිළියන්ටද ඇඟිලි දිගු වන්නට වීමය. එසේ සිදු වීම බලවත් අවනඩුවක්‌ බව පොලිසියට නොවැටහුණේය.

එය සිදු නොවිය යුතුව තිබුණු දෙයකි. අප එසේ කියන්නේ කාගේ හෝ පස්‌සේ ගොස්‌ පොත්ත රතු වූ පලියට තුට්‌ටු දෙකේ ටෙලියකට රිංගා පෙම්වතියක නැතහොත් පෙම්වතියගේ යෙහෙළිය ලෙස ඇල්වතුර රංගනයක යෙදී "මමත් දැන් නිළියක්‌" යෑයි කියමින් මුරුංගා අත්තට නැගි මෑත යුගයේ බිහිවූ අපේ ඇතැම් ටෙලි නිළියන්ට චරිත සහතික දෙන්නට නම් නොවන්නේය.

එවන් නිළියන් දන්නේ මහන්සිවී නොව හාන්සි වී සල්ලි හොයන්නට යෑයි කියමින් පසුගිය කාලයේ එක්‌තරා ජනප්‍රිය හා ප්‍රවීණ නළුවෙක්‌ ඔවුන්ට නියම චරිත සහතිකය දුන් අන්දමද අපට මතකය. එහෙත් සීඅයිඩීය වෙළේ සුදා ටෙලි නිළියන් සමඟ සබඳතා පවත්වා තිබෙන බව කියමින් ඇත්ත ඇති සැටියෙන් නොකියා හැංගිමුත්තන් කෙළින්ට යැමෙන් සිදු වූයේ මෙරට කලාව පෝෂණය කරන්නාවූ සෑබෑ නිළියන් අසරණ වීමය.

මෙසේ වෙළේ සුදාට බද්ධ කරමින් ටෙලි නිළි කතාවක්‌ එළියට දැමූ පොලිසිය ඒ පිළිබඳව සුපිරි පරීක්‍ෂණයක්‌ සිදු වෙමින් තිබෙන බවක්‌ද පසුව කීවේය. එහිදී සමහරුන්ගේ බැංකු ගිනුම් තහනම් කළේ යෑයිද වරින් වර මාධ්‍ය සාකච්ඡා පවා කැඳවමින් පොලිසිය කියන්නට වූයේ "දැන් ඉතින් ලංකාවේ කුඩු ජාවාරම ඉවරෙටම ඉවරයි" ලෙසින් අපට හැඟී යන පරිදිය.

මෙකී ටෙලි නිළියන් වෙළේ සුදා මත් කුඩු ජාවාරමෙන් උපයා ගත් කළු සල්ලි සුදු කිරීමේ ඒජන්තවරියන් ලෙස කටයුතු කර තිබෙන බවද පොලිසිය කීවේය.

නමුත් මෙසේ කුමක්‌ කීවද සිදු වූ දෙයක්‌ නොවීය. මේ හමුවේ සීඅයිඩීයෙන් අසන්නට එක්‌ ප්‍රශ්නයක්‌ද අපට ඇත. ඒ සමස්‌ත වෙළේ සුදා විමර්ශනය තුළ මහා ධනස්‌කන්ධයන් පිළිබඳ පවසමින් රුපියල් දෙස බලා "ඒ ගිනුමත් මේ ගිනුමත් හැරෙන්නට තවත් ගිනුම් තිබේදැයි" ලෙසින් වෙළේ සුදා විමසා වරින් වර ඇතැමුන්ගේ බැංකු ගිනුම් පරීක්‍ෂා කළා හැරෙන්ට සිදු කළ වෙනත් දෙයක්‌ තිබේද යන්නය.

අප එසේ අසන්නේ වෙළේ සුදා වැනි ජාත්‍යන්තර මට්‌ටමේ කුඩු ජාවාරම්කරුවකු තමන්ගේ භාරයේ තබාගෙන සිටියදීත් තවමත් වෙළේ සුදාගේ මත්කුඩු ජාලයට පහරදී මත් කුඩු බිඳක්‌ හෝ සොයා ගැනීමට සීඅයිඩියට හැකිවූ බවක්‌ මෙතෙක්‌ අපට අසන්නට නොලැබුණ නිසාය.

තමන්ගේ ජාවාරමේ තරම ඉකුත් සතියේ වෙළේ සුදාම අධිකරණය ඉදිරියේ පවසා තිබුණේ තමන් පසුගිය 2010 වසරේ සිට මත් කුඩු කිලෝ ග්‍රෑම් අටසියයක්‌a පමණ මෙරටට ගෙන්වා අලෙවි කළ බව සඳහන් කරමිනි. අද වෙළේ සුදා තබාගෙන බබා පාට්‌ එකෙන් සියල්ල සිදු කෙරෙන්නේ සුදා පිළිබඳ යථාර්ථය එසේ වී තිබියදී වේ.

කෙසේ වෙතත් මේ අන්දමින් වෙළේ සුදා සහ ටෙලි නිළියන් ගැන කියමින් රහස්‌ පොලිසිය සැඟවුණු අනාවරණයන් සමඟ කරන්නට වූ හැංඟිමුත්තන් සෙල්ලම අතරේ ඉකුත් දිනක වෙළේ සුදා නිසා මෙරට නිළියන්ට එල්ලවී තිබූ මඩ පැල්ලම් යම් දුරකට මැකී යමින් එක්‌තරා වැදගත් දෙයක්‌ සිදු වූයේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදිය.

ඒ වන තුරුම සීඅයිඩීය කී වෙළේ සුදා සහ ටෙලි නිළි කතාවේ සැබෑව තිබුණේ සැඟවීය. නිළියන් කවුරුන් දැයි කිසිවකුත් දැන නොසිටියේය. නමුත් ඉකුත් එකොළොස්‌ වැනිදා කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත පැමිණි ටෙලි නිළි උදයන්ති කුලතුංගගේ සොයුරියක වූ චමිලා ක්‍රිෂාන්ති කුලතුංග නමැත්තිය අධිකරණය ඉදිරියේ අපූරු කතාවක්‌ කියන්නට විය.

තමන්ගේ බාල සොයුරිය වූ උදයන්ති වෙළේ සුදා නමැත්තා සමඟ ගනු දෙනු කළේය යන පදනමින් තමන්ගේ බැංකු ගිනුම් තහනම් කිරීමට සීඅයිඩීය කටයුතු කර ඇතිs නිසා තමන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බැවින් එකී තහනම ඉවත් කර දෙන්නැයි ක්‍රිෂාන්ති කුලතුංග එසේ අධිකරණය ඉදිරියේ කී කතාව විය.

ඇගේ මේ ප්‍රකාශයත් සමඟ එතෙක්‌ පොලිසිය සඟවාගෙන සිටි වෙළේ සුදා සහ ටෙලි නිළි කතාවට අදාළ එක්‌ නිළියක පිළිබඳ රටට අනාවරණය විය. ඒ උදයන්ති කුලතුංගය. එහෙත් උදයන්ති වෙළේ සුදා සමඟ ගනුදෙනු කර තිබුණේ කෙසේද?

ක්‍රිෂාන්ති කුලතුංගගේ හෙවත් උදයන්තිගේ අක්‌කා වෙනුවෙන් එදින අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරයා කී පරිදි ඒ ගනුදෙනුව සිදුව ඇත්තේ මෙසේය.

වරක්‌ විදේශයක පැවැති සංගීත සංදර්ශනයකදී උදයන්තිට වෙළේ සුදා මුණ ගැසෙන්නේය. එහිදී ඇති වන මිත්‍රත්වය සමඟ පසු කලෙක උදයන්ති ටෙලි නාට්‍යයක නිෂ්පාදන කටයුතු සඳහා වෙළේ සුදාගෙන් රුපියල් ලක්‍ෂ තුනහමාරක මුදලක්‌ ඉල්ලාගෙන ඇත. නීතිඥවරයා අධිකරණය ඉදිරියේ හෙළි කළ පරිදි උදයන්තිගේ හා වෙළේ සුදාගේ ගනු දෙනුව ඉන් එහා ගොස්‌ නැත.

එහෙත් මේ ක්‍රිෂාන්තිගේ නීතිඥයා විසින් කී ඒ කතාව පිළිබඳ කිසිත් අප නොදන්නේය. එසේම ඒ පිළිබඳ ඉන් එහා යමක්‌ කතා කිරීමටද අපට නොහැකිය. මන්ද මේ මොහොත වන විට වෙළේ සුදා සිද්ධියේ එක්‌ සැකකාරියක ලෙස උදයන්ති කුලතුංග අධිකරණය හමුවේ පෙනී සිටින නිසාය. එහෙයින් උදයන්තිගේ හා වෙළේ සුදාගේ සම්බන්ධය පිළිබඳ ඇත්ත නැත්ත කුමක්‌දැයි ඉදිරියේදී ගරු අධිකරණය තීරණය කරනු ඇත.

නමුත් වෙළේ සුදා යනු කුඩු ජාවාරමෙන් සුපිරි කෝටිපතියකු වූ ධන කුවේරයකු බව අප දැන සිටින්නේය. එහෙයින් ඔහු සමඟ ගනු දෙනු කළේ යෑයි සීඅයිඩීය කියන උදයන්ති කුලතුංග, ඇගේ සොයුරියගේ නීතිඥයා කියන පරිදි වෙළේ සුදාගේ කළු සල්ලි සුදු කරන්නට ලබා ගත්තේ රුපියල් ලක්‍ෂ තුනහමාරක්‌ පමණ නම් ඒ තුළ ඇත්තේ ගැටලුවක්‌ බවද කිව යුතුය.

කෙසේ වෙතත් උදයන්තිගේ කතාව අධිකරණය ඉදිරියේ දිග හැරීමෙන් වෙළේ සුදා පිළිබඳ "තොත්ත බබා" විමර්ශනයක යෙදෙන සීඅයිඩීය වෙළේ සුදා හා සම්බන්ධ යෑයි කී ටෙලි නිළියන් හය දෙනාගෙන් එක්‌ නිළියක දැන් එළියට පැමිණ ඇත.

මෙහිදී උදයන්ති කුලතුංග නමැති ටෙලි නිළියට සිදු වන්නට ඇත්තේ කුමක්‌ද? එක්‌කෝ ඇය නොදැනුවත් කමට හෝ දැන දැනම "බල්ලොත් සමඟ නිදන්නට ගොස්‌ මැක්‌කොත් සමඟ නැගිට" සිටිනවා විය යුතුය. එසේ නැතහොත් ඇයට ගින්දර අනුභව කිරීම නිසා මේ මොහොතේ අඟුරු පහරන්නට සිදුව තිබෙනවා විය යුතුය.

ඒ මොන දේ වුවත් මෙම සටහන තැබීමේදී ස්‌ත්‍රීත්වයේ නාමයෙන් උදයන්තිට සාධාරණයක්‌ ඉටු කිරීම සඳහා සිදු වූයේ කුමක්‌දැයි ඇගෙන් විමසීමට අපි උත්සාහ කළෙමු. එහෙත් ඇයව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අප ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වූවේය. ඇය සිටිනා තැනක්‌ සොයා ගැනීමටද නොහැකි විය. එහෙයින් කරන්නට තවත් වැඩ ඇති නිසා අවසානයේ අපි ඒ උත්සාහය අත හැරියෙමු.

වෙළේ සුදා තබාගෙන සීඅයිඩීය අද සිදු කරන සුපිරි විමර්ශනයේ ටෙලි නිළි කතාව එසේ වෙද්දී ඒ විමර්ශනයට අනුව ඉකුත් දා තවත් අපූරු දෙයක්‌ද සිදු විය.

ඒ ප්‍රශ්න කිරීම්වලදී වෙළේ සුදා හෙළි කළේ යෑයි කියමින් ගල්කිස්‌ස බඩෝවිට මත් කුඩු රාජධානියේ වෙළේ සුදාට සිටි පරම සතුරා වූ බඩෝවිට අසංගගේ බිරිඳ වූ නිසංසලා සඳකුමාරි නමැත්තිය අත්අඩංගුවට ගත් සීඅයිඩීය ඇය වෙළේ සුදාගේ කළු සල්ලි සුදු කළ අනියම් පෙම්වතියක යෑයි හඳුන්වමින් අධිකරණයට ඉදිරිපත් කිරීමය.

එසේ අධිකරණයට ඉදිරිපත් කෙරුණු සඳකුමාරි පසුව ඉකුත් 19 වැනිදා ඇප මත නිදහස්‌ කෙරිණි. බඩෝවිට අසංග යනු කාලයක සිට වෙළේ සුදා පරිදිම මහා පරිමාණයෙන් නොවුණද මත්කුඩු ජාවාරමේ යෙදෙන්නෙකි. එසේම ඔහුගේ කල්ලිය හා වෙළේ සුදාගේ කල්ලිය දීර්ඝ කාලයක සිට එකිනෙකාට ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි දෙකක්‌ ලෙස නැගී සිටිමින් මිනී මරාගත්තවුන් බව මේ වන විට මුළු පොලිස්‌ දෙපාර්තමේන්තුවම දැන සිටින්නකි. මේ බව අපට කීවේද රහස්‌ පොලිසියේම නිලධාරියෙකි.

බඩෝවිට අසංගගේ බිරිඳ වූ සඳකුමාරි වෙළේ සුදා හෙළි කළ පරිදි ඔහුගේ අනියම් පෙම්වතියක යෑයි කියමින් සීඅයිඩීය ඇයව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ සත්‍යය එසේ වී තිබියදීය. සැබැවින්ම සඳකුමාරි වෙළේ සුදාගේ අනියම් පෙම්වතියක්‌ වූයේද? ඒ ප්‍රශ්නයට පිළිතුර දන්නේද සීඅයිඩීයම ය.

එහෙත් අප දන්නා පරිදි නම් සඳකුමාරි යනු බඩෝවිට අසංගට දාව දරු තිදෙනකු මෙලොවට බිහි කළ තිදරු මවකි. මේ දරුවන්ගේ මව කුඩු ජාවාරම්කාරියක ලෙස අධිකරණයට ගෙන ගියේ නම් එහි ගැටලුවක්‌ නැත මන්ද අසංගද කුඩු ජාවාරමට සම්බන්ධ නිසාය. එසේම ඇය වෙළේ සුදාගේ කළු සල්ලි සුදු කළ තැනැත්තියක යෑයි කීවද එයද අපට ගැටලුවක්‌ නැත. එහෙත් ඇය තවෙකකුගේ අනියම් පෙම්වතියක යෑයි කියමින් අධිකරණයට ගෙන යැම හමුවේ ඇගේ දරුවන්ගේ මානසිකත්වය කෙසේ වේදැයි කියන්නට එය සිදු කළ රහස්‌ පොලිසියේ මහත්වරුන්ට හැකිද?

සීඅයිඩීයෙන් ඒ ප්‍රශ්නය විමසන අතරේ අප දන්නා හඳුනන පොලිස්‌ නිලධාරියකුම කී එක්‌තරා අපූරු කතාවක්‌ මේ මොහොතේ අපේ සිහියට නැගෙන්නේය. "මහත්තයෝ.. කාකි සූට්‌ එක දාගත්ත ඕනම අයියා කෙනෙක්‌ බඩ වෙනුවෙන් දෙයක්‌ කළොත් ඒකට කවදාක හරි වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. හැබැයි රට වෙනුවෙන් දෙයක්‌ කළොත් කොතැන ගියත් එයා ගැලවෙනවා.."

පැහැදිලිවම Rජු සහ අවංක නිලධාරියකු වූ හෙතෙම ඒ අපූරු කතාව අපට කීවේ එසේය. එය මේ මොහොතේ අපේ සිහියට නැගුණේද නිකම්ම නොව. අද වෙළේ සුදා ගෙන සුපිරි විමර්ශන සිදු කරන හතරවැනි තට්‌ටුවට ඇසෙන්නට එය කිවහොත් යහපතක්‌ යෑයි සිතුණු නිසාය.

ඒ සමගම මේ මොහොතේ අවසන් වශයෙන් පොලිසියෙන් අසන්නටද අපට ප්‍රශ්නයක්‌ ඇත. ඒ වෙළේ සුදා සමඟ පාකිස්‌තානයෙන් ඉම්පෝර්ට්‌ කළ සිද්ධික්‌ දැන් අසනීපයෙන්දැයි කියාය.

සමන් ගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.