විදේශ නියුක්‌ති කාර්යාංශයට පිළිතුරක්‌
ඩොට්‌ නෝනා පමනක්‌ නොව හැමෝම ගැන ඇත්ත මේකයි!

බෙහෙත් උගුරක්‌ නැතිව ලෙබනනයේ තානාපති කාර්යාලයේ දී මියගිය ඩෝටින් නෝනා ගැන ඉරිදා දිවයින පුවත්පතේ 2015-04-19 වන දින පළවු ලිපියට පිළිතුරක්‌ වශයෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සභාපතිවරයා 07-06-2015 දින ගිනි ගන්නට අපට නැට්‌ටක්‌ නැත යන ශීර්ෂය යටතේ පිළිතුරක්‌ සපයා තිබිණි. මේ ලිපිය සැපයූ රුචිර ජයදේව නැමැති පුද්ගලයා වෛරී භාෂාවකින්, අසත්‍ය තොරතුරු පළකර ඇතැයි විදේශ සේවා නියුක්‌ති කාර්යාංශ සභාපතිවරයා විස්‌සෝප වේ. බරපතළ ලෙස කිපේ. චෝදනා කරයි. එබැවින් මේ වග ලියා දැන්වීමට සිතේ.

අප කතාකළ ඩොටීන් නෝනාගේ ප්‍රශ්නය පිළිබඳ විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයෙන් අසන්නට අපට මූළික කාරණා කීපයක්‌ විය. ඩොටීන් නෝනා ලෙබනනයේ සේවය කළා ද?... ඇය එහිදී මිය ගියා ද?... තානාපති කාර්යාලය තුළ ඇය මියගියේ බෙහෙත් උගුරක්‌ හෝ නැතිවද?. එම බෙහෙත් ලබාගැනීමට මුදල් දීම ප්‍රතික්‌ෂේප උනේ කෙසේද?. ඇගේ මිනිය වළ දමන්නට මුදල් නැතිව ලෙබනනයේ බාඩ්ඩා රෝහලේ අයිස්‌ පෙට්‌ටියක තවමත් කරවල වෙවී නැද්ද?... අප විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයෙන් විමසා සිටියේ මේ අතිශය සරල මානුෂික ප්‍රශ්න කීපයය.

ඇත්තනම් ඩොටීන් නෝනා මියගොස්‌ ඇත. ඇය මියගොස්‌ ඇත්තේ බෙහෙත් උගුරක්‌ හෝ නැතිව තානාපති කාර්යාලය තුළය. ඇගේ මිනිය වළ දමන්නට මුදල් නැතිව තවමත් බාඩ්ඩා රෝහලේ අයිස්‌ පෙට්‌ටියක තැන්පත් කර තිබේ. විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට ඒ වෙනුවෙන් මුදල් දීම ප්‍රතික්‌ෂේප කර ඇත.

ඩොටීන් නෝනා අවුරුදු 20 කටඅධික කාලයක්‌ ලෙබනනයේ බැලමෙහෙවර කර තිබේ. ඒ කාලය තුළම මේ රටට කුමණ හෝ මුදලක්‌ විදේශ විනිමය සේ එවා ඇත. අවසානයේ දී වීසා නැතිව ලෙබනනයේ සේවය කිරීමේ වැරැද්දට හසුව ඒ වරදට මරණ මොහොතේ බෙහෙත් ටිකක්‌ නොමැතිව ඇය මිය ගොස්‌ සිටී. අප විමසා සිටියේ කිසිම මිනිසෙක්‌ අත් නොවිඳිය යුතු, කිසිම රටක නිලධාරීන්ගෙන් අපේක්‌ෂා නොකළ යුතු මේ අමානුෂිකත්වය ගැනය. Ê

මේ ගැන අප ලියූ විට විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සභාපතිවරයා රුචිර ජයදේව නැමති පුද්ගලයාගේ වෛරී භාෂාව ගැන කතා කරයි. ඊට අමතරව කරුණු තුනක්‌ තම පිළිතුරු ලිපියෙන් මතුකර පෙන්වයි. එකක්‌ විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට ගිනි ගන්නට වලිගයක්‌ නැති බවය. අනෙක විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ මුදල් ඉල්ලා සිටියත් ඒවා සභාපතිවරයාගේ පෞද්ගලික බූදලයක්‌ නොවන නිසා ඩොටින් නෝනාට ලබා දිය නොහැකි බවය. තුන්වෙනි කරුණ නම් ඇමැතිවරියට අභියාචනාවක්‌ ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමට ඩෝටින් නෝනාගේ නෑදෑයන්ගේ නමක්‌ ගමක්‌ තානාපති කාර්යාලයේ කම්කරු නිලධාරිනිය ලබා දී නොමැති බවය.

නීති රීති ඇත්තේ මිනිසුන් පෙළන්නට නොවේ. අනික සභාපතිවරයාගේ බූදලයෙන් මුදල් ඉල්ලා සිටින්නට තරම් ඔලුව අමාරුවක්‌ කම්කරු නිලධාරිනියකට තිබෙන්නට පුළුවන්කමක්‌ නැත. ඇය කර ඇත්තේ මානුෂික කරුණක්‌ සේ සලකා ඩෝටින් නෝනා බේරා ගන්නට අවශ්‍ය මුදල් ඉල්ලීමය. එහෙත් බලාපොරොත්තු වූ මනුස්‌සකම සභාපතිවරයාගෙන් නැති නම් කළ යුත්තේ කුමක්‌ද?. ඩෝටින් නෝනට ජීවිතයක්‌ බේරා ගන්නට සතයක්‌ දෙන්නට නොහැකි වී ඇත්තේ එම ගෙවීම නීති විරෝධි විය හැකි බව සභාපතවරයාගේ අදහස නිසයි. එසේ නම් තලතා අතුකෝරාල ඇමැතිවරිය විසින් සඳහන් කර තිබූ රුපියල් මිලියන 150 ක්‌ ගෙවා ඇත්තේ නීතියට අනුව විය යුතුයි. එසේම එක්‌ අවස්‌ථාවක රැජිනක්‌ සේ සලකන නිළියකට යට සායක්‌ මැසීම සඳහා රුපියල් 20000 ක්‌Ê සහ ඇයට සාරි හැට්‌ට මිලදී ගැනීමට රුපියල් 80000 ක්‌ විදේaශ සේවා නියුක්‌ති කාර්යාංශය විසින් වැය කර ඇත්තේ නීතියට අනුව විය යුතුයි. හිටපු ඇමැතිවරයාගේ මෑණියන්ට කතරගම වන්දනාවේ යන්නට රුපියල් ලක්‌ෂ අටක්‌ ගෙවා ඇත්තේද නීතියට ම අනුව විය යුතුයි. දැනට විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය යටතේ විදේශ තානාපති කාර්යාලවල සේවය කරන නිලධාරීන් සඳහා ගෙවල් කුලී සහ ජීවන වියදම් විශේෂ දීමනාවක්‌ ගෙවන්නේ සභාපතිවරයා කියන නීතියට අනුවම විය යුතු ය. එකක්‌ කඩතොලු මකන්නට ගොස්‌ සියක්‌ කඩතොලු හදාගත් ආචාරියා නොවී ගැටලුව හඳුනාගෙන උත්තර ලබා දෙන්නට බැරිනම් දෙයියන්ගේ පිහිටෙන් කට වසාගෙන ඉඳීමේ නුවණ විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සභාපතිවරයාට නොතිබීම ගැන අපටත් කනගාටුය.

Êලෙබනනයේ කම්කරු නිලධාරිනිය ලිපිනය සොයා දුන්නේ නම් ඇමැතිවරියට අභියාචනයක්‌ ඉදිරිපත් කිරීම සඳහා ඩෝටින් නෝනාගේ පවුලේ අයට දැනුම් දීමේ මැදිහත් කාර්යය කරන්නට හැකි බව විදේශ සේවා නියුක්‌ති කාර්යාංශ සභාපතිවරයා පවසයි. විදේශගතවන ලාංකිකයින්ගේ තොරතුරු ඇත්තේ විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේය. අවුරුදු 20 ලෙබනනයේ වැඩකළ ඩොටීන් නෝනාගේ ලිපිනය සොයා ගන්නට විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට බැරිනම් ඒ අකාර්යක්‌ෂමතාවයේ වගකීම විදේශ සේවා නියුක්‌ති කාර්යාංශ සභාපතිවරයාගේය.

අනෙක මුදල් ලබාදෙන ලෙස මානුෂික පදනමක පිහිටා ඉල්ලීමක්‌ කර ඇත්තේ රාජ්‍ය සේවයේ නිරතවන කම්කරු නිලධාරිනියකි. සභාපතිවරයාට එම මුදල අනුමත කරන්නට නොහැකි නම් ඒ සම්බන්ධයෙන් විෂයභාර ඇමතිවරියට දැනුම් දීමට සභාපතිවරයාට හැකියාව තිබිණි. එය සිදු නොකිරීමේ වගකීම මියගිය ඩොටීන් නෝනාගේ හෝ එම ප්‍රතිපාදන ඉල්ලූ කම්කරු නිලධාරිනිsයගේ නොවන බව අපගේ වැටහීමය.

මේ සභාපතිවරයා නොදන්නවාට වසරකට මැදපෙරදිග කලාපයේ දී අසරණ වී ලංකාවට පැමිණෙන ලාංකිකයින්ගේ සංඛ්‍යාව 20 000 ක්‌ පමණ වේ. දිනකට කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අසරණවී රැකවරණය පතා පැමිණෙන කාන්තාවන්ගේ සංඛ්‍යාව 40 පමණ වේ. තානාපති කාර්යාලයේ රැඳවුම් නිවස්‌නයේ සිටින පිරිස පමණක්‌ 500 ඉක්‌මවයි. වසරකට විදේශවල සිට මිය ගිය ලාංකිකයින්ගේ සංඛ්‍යාව 400 පමණ වේ. මේ ගැන දන්නේ නැතිනම් ඔහුට ඔහුගේ ආයතනයේ වෙබ් අඩවිය පරීක්‌ෂා කර වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. එසේ තිබියදී සභාපතිවරයා කියා සිටින්නේ දිනපතා ජීවිතය බේරා ගන්නට පැමිණෙන කාන්තාවන් නැති බවයි. අපට දුක අපේ රටේ වැදගත්ම ආයතන පාලනය කරමින් ඉන්නා මෙවැනි නොදැනුවත් දුගී මිනිසුන් ගැනය.

සභාපතිවරයා මේ ලිපියේ දක්‌වන ආකාරයට ඩෝටින් නෝනා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ ලියාපදිංචිය නොමැති නිසා බෙහෙත් නැතිව මිය යැම සාධාරණයි. එසේම ඇයගේ මෘත දේහය ලංකාවට ගෙන ඒමට නොහැකිවීම වනාහි ඩෝටින් නෝනාගේම ප්‍රශ්නයකි. එය විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට අදාළ කරුණක්‌ නොවේ. මේ හා සමානව කටයුතු කරන විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයේ වැඩබලන අධ්‍යක්‌ෂ ජනරාල්වරිය ලෙබනනයේ සිටින කම්කරු නිලධාරිනියට දන්වා ඇත්තේ ඩෝටින් නෝනා තානාපති කාර්යාලයේ මිය ගිය නිසා තමන් සිතෙන දෙයක්‌ ඇගේ මෘත දේහය වෙනුවෙන් කරන ලෙසයි.

ඩොටීන් නෝනාගේ අවසානය එයය. මේ සිදුවීම ගැන විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ හැසිරීම ඒ අවාසනාවන්ත මරණයට වඩා වේදනාකාරීය. මක්‌නිසාද යත් මේ දිස්‌වන්නේ මේ රටේ මැදපෙරදිග ශ්‍රමිකයන්ගේ ජීවිත ෙ€දවාචකයේ ප්‍රමාණය වන නිසාය.

ඒ සමග මේ වග ලියා තැබිය යුතුය. විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට නගුටක්‌ නැති බව පිළිගැනීමට අපටත් සිදුවී තිබේ. බැරිවෙලා හෝ නගුටක්‌ තිබුණා නම් පසුගිය වකවානුවේ දේශපාලකයන් වෙනුවෙන් වැනූ වැනිල්ලට මේ වනවිට එය ක්‍ෂීණ වී ගොස්‌ තිබෙන බවට වන සාධාරණ අවබෝධයක්‌ අප සතුය.

ඉතින් සභාපති තුමනි... අපේ ලිපිවල සෝදුපත් බලන්නට ඕනෑතරම් වෘත්තිකයෝ සිටිති. හඳ පෙන්වන විට ඇ`ගිල්ල දෙස බලාගෙන කෑ ගැසීම විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සභාපති තනතුරට නොවටී. ඔබ එසේ කරන විට මේ ලියන අපටත් කියවන පාඨකයින්ටත් ලඡ්ජා හිතේ. එබැවින් කරුණාකර ලෝකය හමුවේ තමුන්ගේ නොපිරුණු බව නොපෙන්වන්න. රාජකාරිය පිළිබඳ වගකීම් සහගත වන්න. අප ජාතික පත්තරයක සේවය කරන ආකාරය ගැන මවිත නොවී ඔබ විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සභාපතිවරයා වීම පිළිබඳව කල්පනා කර මවිත වන්න.

සංඛ්‍යාත්මක දත්ත පිළිබඳ වැඩිදුර දැනුවත් වීමට අවශ්‍යනම් ඒ සඳහා නිදහස්‌ වෙලාවක ඔබේ ආයතනයේ වෙබ් අඩවියට ගොස්‌ අධ්‍යයනය කරන්න.

රුචිර ජයදේව

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.